Saturday, August 19, 2017

නාරායන් සොයා යාම.


ආර්. කේ .නාරායන්ගේ පොත්වලින් මම මුලින්ම කියවපු පොත "The Guide" කියා මගේ මතකයේ ඇත.   "වීදුරු බිත්ති" නමින් එහි පරිවර්තනය කර තිබුණේ ආරියදාස සෝමතිලකය.   මටම කියා පොත් මිළදී ගන්නට වත්කමක් නොතිබුණු ඒ කාලයේ වීදුරු බිත්ති පොත මම කියැවුයේ බෙනට්ගේ පොත් එකතුවෙන්ය.    පසුකාලයක ඒ පොත මිළදී ගන්නට හෙව්වත් පොත් කඩවල වීදුරු බිත්ති පොත සොයාගන්නට නොවීය.   ඒ නිසා දැනටත් මා ළඟ තියෙන්නේ වෙනත් කෙනෙක් විසින් පරිවර්තනය කරන ලද මඟ පෙන්වන්නා නම් පොතකි.    ඒ පොත වීදුරු බිත්ති තරම් හොඳට පරිවර්තනය වී නැතැ යි මගේ විශ්වාසයයි.     කොහොම උනත් මට ආර්.කේ.නාරයන්ගේ කතා රස වැටුණේ වීදුරු බිත්ති පොතෙනි.   ඔහුගේ කතා රටාවේ තිබු උපහාසයද උත්ප්‍රාසයද මගේ සිත තදින් බැඳගත් නිසා ඉන්පසු මගේ උනන්දුව තිබුණේ නාරායන් විසින් ලියන ලද තවත් කතා කියවන්නට වුනත් එය එතරම් පහසු නොවුයේ නාරායන්ගේ කතාවල පරිවර්තන පොත් කඩවල එතරම් නොතිබුණු හෙයිනි.     නාරායන් විසින් මවන ලද මනඃකල්පිත මල්ගුඩි නම්වූ නගරයක් වටා ගෙතුණු කතා මාලාවක් වූ Malgudi Days නම්වූ පොත ඇසුරෙන් කරන ලද ටෙලි කතා මාලාවක් සිංහල උප සිරැසි යොදා රූපවාහිනියෙන් ප්‍රචාරය වන්නට වුයේ ඔය වකවානුවේය.  

ඒ කතාවලට සිංහල උපසිරැසි යෙදු ටයිටස් තොටවත්තයන් මල්ගුඩි දවසැ යනුවෙන් කතා මාලාවට නම යෙදීය.    අලුත් අලුත් නම් යෙදීමේ ශුරයෙකු හෙවත් වදන්පතියෙකු වූ තොටවත්තයන් යෙදු ඒ නම කතාවලට ගැලපෙන නිවැරදිම නම වුයේ මල්ගුඩි දවස යනුවෙන් හෝ මල්ගුඩි දවස් යනුවෙන් යෙදීම කතාවට නාරායන් යොදා ඇති මාතෘකාවට නොගැළපෙන බැවිනි.   ඒ අනුව ඔහු යෙදු ඇ කාරය කතාවට ඉතාම උචිත විය.   ඇ කාරය මෙලෙසින්ම ඉතා ප්‍රතිපලදායක ලෙස යොදාගෙන ඇති තවත් අවස්ථාවක් මගේ මතකයට නැගේ.   ඒ නම් රැයිපියෙල් තෙන්නකෝන් කවියා විසින් ලියන ලදුව පසුව සුනිල් සාන්තයන් ගායනා කළ කුකුළු හැවිල්ල නම් කවි පෙළයි.   එහි එන එක් පදයක් වූ "පොළොවැ උලා නළල් ඇටේ" යන පදය ඇ කාරය නොමැතිව "පොළොව උලා නළල්ඇටේ" ලෙස  ගැයුවහොත් අදහස් වන්නේ පොළොව අතට ගෙන නළලේ උලන බවකි.    නමුත් ඇ කාරය හේතුවෙන් නළල පොළොවේ උලන බව නිවැරදිව කියැවේ.

තොටවත්තයන් ගැන කියැවුණු මේ වෙලේ ඔහු ගැන සමන් ලියා තිබු කතා කීපයක්ද මට මතක් වේ.
 ඒ මෙහෙමය.

"නිර්මාණ කාර්යයේ යෙදෙද්දී ද, දවල් කෑම වෙලාවට පෙරාතුව පොඩි රවුමක් ගසා ඒම බොහෝ කලාකරුවන්ගේ සිරිතය.   ටයි මහත්තයාද එසේය.  ටෙලි නාට්‍යයක් රූගත කරනවිට කෑමට පෙර සුපුරුදු රවුම ගසා ටයි මහත්තයා පැමිණියේය.

"පුතා...උඹ කෑවද?" ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.

"ඔව් ටයි අංකල් ...කෑවා..." කැමරා ශිල්පියා උත්තර බැන්දේය.

"ආ...උඹ කාපං...උඹ කෑවොත් ඇති.අනිත් උන් බඩගින්නෙ මළත් උඹ කාපං..." ටයි මහත්තයා බැණ අඬගෑවේය.

පසු දිනද ටයි මහත්තයා රවුම ගසා ආවේය.

"පුතා...උඹ කෑවද?" ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය.   ඊයේ "කෑවා" කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.

"නෑ...ටයි අංකල්...කෑවෙ නෑ..."කැමරා ශිල්පියා කීය.

"ආ...උඹ කන්න එපා...උඹ බලාගෙන හිටපන් කවුරුහරි කෑම එක අනල ගෙනල්ල උඹේ කටේ ඔබන කල්..." ටයි මහත්තයා බැණ අඬගෑවේය."

පසුකාලීනව අතිශය ජනප්‍රිය වූ පිස්සු හුටං යන වචනයද තොටවත්තයන්ගේ නිෂ්පාදනයක් බව කියැවේ.

"සිංහල සිනමාවටද දායකවූ ප්‍රංශුවෙක් මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කළේය.   අප ඔහු දැන හඳුනා ගත්තේ සිනමාවට පිවිසීමට කලිනි.   පසු කලෙක ඔහු ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ 'පුරන් අප්පු' චිත්‍රපටයේ ඉංග්‍රීසි සෙනෙවියෙකුගේ භූමිකාව නිරුපණය කරමින් සිංහල සිනමාවටද පිවිසියේය.

අපේ ටයි මහත්තයා ඔහුගේ 'හඳයා' චිත්‍රපටය සඳහාද මේ ප්‍රංශුවා සම්බන්ධකර ගත්තේය.   ඔහුගේ නම 'යාන් පියරේ ඔතෑන්'ය.   නිසි පරිදි උච්චාරණය කරද්දී ඔහු 'ඔතෑන්'  වුවද එය ලියැවෙන අයුරින් අපට හුරුපුරුදු ලෙස උච්චාරණය කළහොත් කියැවෙන්නේ 'හුටං' යනුවෙනි.

ටයි මහත්තයා මුළු චිත්‍රපටය පුරාම පාහේ ඔහු ඇමතුවේ 'හුටං' කියාය.   හුටං පමණක් නොව ඔහුගේ පුත් පුංචි හුටං ද හඳයා චිත්‍රපටයේ රඟපෑවේය.

"කෝ මේ පුංචි හුටං...? එතකොට කෝ ලොකු හුටං?... කොහේ ගිහිල්ලද මේ පිස්සු හුටං ලා...?" බේරේ වැව අද්දර දර්ශන තලයේ සිට ටයි මහත්තයා කෑ ගසනු මට තාමත් මතකය.   සිංහල භාෂාවට 'පිස්සු හුටං' යන වදන එක්වුණේ මෙලෙසින් බව මගේ හැඟීමයි..!"

(එය මෙසේ සිදුවිය, සමන් අතාවුදහෙට්ටි, 2008)

නාරායන් ගැන කතාවට නැවත ආවොත් ඔහු විසින් ලියන ලද ස්වයං ලිඛිත චරිතාපදානය වූ My Days සමන් වික්‍රමාරච්චි විසින් මගේ කළ දවස යනුවෙන් පරිවර්තනය කරනු ලදුව මට කියවන්නට ලැබිණි.  බෙහෙවින් සිත් අදනා සුළු ශෛලියකින් රචිත "මගේ කළ දවස" ද මා  සිත වසඟ කළ පොතක් වූ බව නොකිව මනාය.    කාලය වේගයෙන් ගෙවී ගොස්  පසුකලෙක මට චෙන්නායි නගරයේ පදිංචියට යන්නට සිදුවිය.     චෙන්නායි වල නාරායන්ගේ පොත් හිඟයක් නොවීය.     ඔහු විසින් ලියන ලද සියලුම පොත් පබ්ලිකේෂන්ස් විසින් ප්‍රකාශයට පත්කරන ලදුව චෙන්නායිහි පොත් කඩවල විකුනන්නට තිබු නිසා මම හිගින්බොතම් පොත් සාප්පුවෙන් ඒවා මිලදීගෙන කියැවුයෙමි.     පොත්වල ප්‍රමිතිය එතරම් හොඳ තත්ත්වයක නොතිබුණද කියවන්නට අපහසුවක් නොවීය.    නාරායන්ගේ පොත්වලට වහවැටී දිගින් දිගටම කියවමින් සිටි මට ඔහුගේ පොත්වල කියැවෙන දකුණු ඉන්දීය පරිසරය පොත්වලින් පමණක් නොව හැබැහින්මද දැකගන්නට ලැබුණේ ඒ වනවිට මාද දකුණු ඉන්දියානු පරිසරයට අනුගතවී සිටි ජීවියෙක් නිසාවෙනි.    කතාවලින් කියැවූ නාරායන් සැබෑ ජීවිතයේ ජීවත්වූ ආකාරය සහ ඔහු ජීවත්වූ පරිසරය ගැන වැඩිදුරටත් සොයන්නට මට කල්පනා වුනේ මේ අතරවාරයේය.  කල්පනා වුවාට ක්‍රියාත්මක වන්නට ප්‍රමාද වුණේ වෙනත් කිසි හේතුවක් නිසා නොව කම්මැලිකම ඉදිරියට ආ නිසාය. 

කාලය 2001 වසරේ මුල් භාගයයි.   මෙතෙක් දවස් කල් දමමින් සිටි නාරායන් සොයා යාම ක්‍රියාත්මක කරන්නට මට හිතුණේ නිකම්ම වාගේය.   වැඩේ එච්චරට අමාරු නොවන බව මා සිතුයේ නාරායන් කුඩා කල පදිංචිව සිටි පුරුසවල්කම් ටවුම අප පදිංචිව සිටි එග්මෝර් වලට බොහොම ලඟින් පිහිටා තිබු නිසාය.   නාරායන්ගේ ජීවිත කතාවට අනුව ඔහු පදිංචිව සිට ඇත්තේ අංක.1, වෙල්ලාල වීදිය, පුරුසවල්කම්, යන ලිපිනයේය.   අපි සති අන්තයේ බඩු ගන්නට යන්නෙත් පුරුසවල්කම් ටවුමටය.    සති අන්තයේ එළවළු මාළුපිණි ගන්නට කඩපොළට යන ගමනට හැලපි අනිවාර්යයෙන්ම මාවත් එකතු කරගන්නේ ගන්න බඩු මුට්ටු වලට කඩපොළේ ගෑණු චර බර ගා දෙමළෙන් කියන ගණන් හිලව් ඇයට නොතේරෙන නිසාය.     

ඔන්න ඔහොම එක සති අන්තයක අපි දෙන්නා බඩු ගන්නට යන්න සුදානම් වූ විට නාරායන් සොයා යාමේ මගේ අභිලාෂය ගැන ද මම ඇයට කීවෙමි.   ප්‍රශ්ණයකට තියෙන්නේ අපට වැඩේ පටන්ගන්නට තැනක් නැතිකමය.   නාරායන් කියා ඇති ලිපිනය සොයා යාම විහිළුවක් වන්නේ ඔවුන් ඒ ලිපිනයේ පදිංචිවී සිට ඇත්තේ එක්දාස් නවසිය තිස් ගණන් වල වීමය.     නමුත් කරන්නට දෙයක් නැතිකම නිසාම එතැනින් පටන් ගන්නට තීරණය කර වෙල්ලාල වීදියේ අංක එක සොයා ගියෙමු.    ඛේදයකි! දැන් එතැන තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ නිර්මාංශ හෝටල් ජාලයක් වන ආනන්ද භවන් අති විශාල සයිවර් කඩයකි.    දැන් කුමක් කරන්නද?   කෝකටත් කියා අපි දෙදෙනා කඩයට ගොඩ වැදුනෙමු.     හෝටලයෙන් හමන තෝස, වඩේ, ඉඩ්ලි, පූරී ආදී දකුණු ඉන්දියානු ආහාරවල දිව පිනා යන සුවඳින් මුසපත්වූ හැලපි ක්ෂණයකින් නාරායන් අමතක කරදමා සයිවර් කන්නට වාඩිවූවාය෴