අපි ගතින් 21 වෙනි සියවසේ ජීවත්වුණත් සිතින් ජීවත් වෙන්නෙ අතීතයෙද කියල මට නිකමට වගේ හිතුණා...මොකද නොස්ටැල්ජික් හෙවත් අතීතකාමය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන බව නොයෙකුත් අවස්ථාවන්හිදී අපට තේරුම්යන නිසා...
වැඩියෙ ඕනැ නෑ දැන් ඔය අපි බොහොම උජාරුවෙන් කරන මස් පළහා කෑම හෙවත් බාබකිව් කියන ක්‍රමයත් ඈතම අතීතෙ අපේ ආදිතම මුතුන් මිත්තන්ගෙ ආහාර ක්‍රම වර්තමානයට නැවත රැගෙන ඒමක් නොවැ...බාබකිව් එකක් කරද්දී අපිනං ඔහොම හිතන්නෙ නෑ බොහොම ආඩම්බරෙන් සමහර වෙලාවට බාබකිව් එක කරන්න සෑහෙන කැලේකුත් හොයාගන්නව...කිව්වහම මොකද මාත් මේ ලඟදි කැලේ පැත්තක ගිහිං කරපු බාබකිව් එකකට සහබාගි උනා මම නං ඉතිං කොහොමත් ඔය අතීත කාමෙ වැඩිපුර ඉහට ගහපු එකෙක්නෙ, මහ මන්දිර වලට වඩා කැලේට කොළේට පොල්ලතු වහපු මැටි ගෙදරට බොහොම කැමතියි...
මම ඔය විස්තරේ කිව්වේ අද උදේ පත්තරේ කියවනකොට පත්තරේ තිබ්බ පින්තූර දෙකක් එක්ක මම හිතින් බොහොම ඈත අතීතයකට ගියා...කාලෙකින් නොදැකපු නෑදෑයෙක් දැක්ක වගේ මට හිතුණා කලිනුත් පෝස්ට් එකක ලීව වගේ මම පොඩි කාලෙ අපේ අම්මලගෙ ගමේ ගිහිං කාලයක් හිටියනෙ එතකොට නැවතිලා හිටියෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර, ලොකු අම්ම කිව්වේ අපේ අම්මගේ අක්ක, බැඳලා හිටියෙ බෝතලේ ප්‍රසිද්ධ කපු පරම්පරාවක මද්දුමය, ඒ මහප්පගෙ නම පුංචිබණ්ඩාර...ගෙදර මහප්ප කියලයි අපි කිව්වෙ.
ඒ ගොල්ල පරම්පරාගත කපුවො, මහප්පලගෙ ගෙවල් ලඟම තිබ්බ පොඩි කැලේට අපි කිව්වෙ දේවාලෙ කැලේ කියලයි, ඒ කැලේ පොඩි පත්තිනි දේවාලයක් තිබුණා...දේවාලෙ නං බොහොම පොඩි කිසිම ලකයක් නැති දියසෙවෙල බැඳුනු පරණ දේවාලයක්, ඒ වුනාට මොකද දන්න කියන කිසිම කෙනෙක් ඔය දේවාලෙටවත් කැලේ තියෙන අවුරුදු සිය ගානක් පරණ රූස්ස ගස් වැල් වලටවත් අතක් තියන්නෙ නෑ...සැරයක් මම ආසාවට කියල ගෙයි මිදුලෙ හිටෝගන්න වේවැල් පැළයක් ඔය කැලෙන් ගලෝගන යන්න හැදුව, වේවැල් පැළ ඕසෙට තිබුනත් මට පැළයක් ගලෝගන්න බැරිවුනානෙ...
ඔය කැලෙත් දේවාලෙත් බෝතලේ මහවලව්වේ සේනානායක පවුලෙ බූදලයක් දිවංගත මහ සේනානායකයන්ගෙ ඉඳල එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න සියලුම සේනානායකවරු අදටත් තමන් කරන කියන හැම දේකටම ඉස්සෙල්ල සෙත් ශාන්ති ආශීර්වාද කරවගෙන යන්නෙ ඔය දේවාලෙන්...
ඔය මම බෝතලේ හිටපු කාලෙ දේවාලෙ කපුකම කළේ අපේ ලොකුඅම්ම බැඳල හිටපු මහප්පගේ අයිය, අපි කිව්වෙ කඩේ මහප්ප කියල, ගෙදර මහප්පයි තව බාප්ප කෙනෙක් හිටිය ඔය තුන්දෙනාම අමුඩයෝ උදේ ගහගන්න අමුඩෙ ගලවන්නෙ රෑ නින්දට යන්න...අමුඩෙ ගහගෙන කළයක් වගේ බඩත් එළියෙ දාගෙන ඉන්නකොට කඩේ මහප්ප ඇරපු අතක් නෑ බහිරවයෙක් වාගෙමයි...
ඒ කාලෙ හැම අවුරුද්දකම දේවාලෙ ගම්මඩුවක් නැටුවා, අහළ පහළ ගම්වල ඉන්න නැට්ටුවෝ බෙරකාරයො කපුවො ඔක්කොටොමත් ආරාධනා කරල රෑ එළිවෙනකන් නටන ගම්මඩුව බලන්න ලස්සනයි...ඒ කාලෙත් ගම්මඩුවක් නටන්න සෑහෙන වියදමක් යනව, කඩේ මහප්පටත් කුඹුරුවලින් එන වී ටිකෙන් ගෙදර කෑමටත් අරං ඉතුරු හරිය විකුණල ගන්න මුදලක් ඇරෙන්න වෙන ආදායමක් තිබ්බ එකක්යැ...ගම්මඩු නටන්න ගමපුරා සම්මාදමේ ගියෙත් නෑ ගම්මඩුවේ යාතිකා කරල පඬුරු පෙට්ටියට වැටෙන මුදලක් තමයි...මඩු නටන්න එන නැට්ටුවන්ට බෙරකාරයන්ට බොන්න කසිප්පු හොයල දෙන එක තමා කරදරම වැඩේ...බීම ඉල්ලිල්ල ඉවරයක් නැතිතැන කඩේ මහප්පටත් කේන්ති යනව...
මුංගේ ලපැලියාවෙ ඉවරයක් නැති හැටි අම්මප...
එහෙම කිව්වට කසිප්පු ගෙනාපුහම කඩේ මහප්පත් දෙකක් දාගන්නව...ගෙදර මහප්ප බොන්නෙ නෑ ගම්මඩුවෙදි පත්තිනි දේවිට අඳින්නෙ ගෙදර මහප්ප බලන්න එපායැ මහප්ප පත්තිනි දේවිට ඇඳල එන ලස්සන...ගම්මඩුව නටල යාතිකා කරල ඉවරවෙද්දි කොහොමත් උදේ නවය දහය විතර වෙනව...නැට්ටුවො බෙරකාරයො පස්සෙන් අපිත් කඩේ මහප්පලගේ ගෙදරට යනවා...
ඒ වෙනකොට එන අයට කඩේ මහප්පලගෙ ගෙදර කෑම ලෑස්තියි, පිළිහුඩු කරෝල ජාති මොකුත් මුහු නොකර බතුයි කිරිහොදි හරි ලබු හරි පුහුල් වගේ හොද්දකුයි සම්බෝලයි එක්ක ඔක්කොමල බිම ඉඳගෙන උණුවෙන් කෙහෙල් කොළේට බෙදන බත් පත කනව...කාල ඉවරවෙලා කඩේ මහප්ප කට කපල පිරිලා තියෙන පඬුරු මුට්ටියෙන් කාසි අහුරක් දෙකක් පිටින් ආපු අයට දුන්නම ඒ අය මහප්පට වැඳල සමුඅරන් බෙරයි නැටුම් ඇඳුම් පොට්ටනියි කර ගහගෙන යන්න යනවා...ආයෙ ගණන් පොරොන්දු වීමක් සල්ලි ගණන් කිරිල්ලක් මොකුත් නෑ ඒ කාලෙ එහෙම තමා,ඔය විදියට ආපු අයට පඬුරු අහුරු අහුරු දීල පිටත් කරපුවම අන්තිමට මහප්පටත් මුට්ටියෙ පඬුරු ටිකක් ඉතුරු වෙනව සමහර වෙලාවට මොකුත් නෑ...
කඩේ මහප්පගේ ලොකු පුතා කඩේ අයියටත් මඩු නැටිලි බෙර ගැහිලි ඔක්කොම පුළුවනි ඒ උනාට කඩේ මහප්ප මැරුණට පස්සෙ අපි බලාපොරොත්තු වුනු විදියට එයා දේවාලෙ තේවාව බාරගත්තෙ නෑ...එතකොටත් කඩේ අයියට ජෙප්පො කොක්ක ගහල, එයා බෙරගැහුවේ ජේ වී පී මැයි පෙළපාලියෙ,දවසක් මම ඇහැටම දැක්ක, ඔය දේශපාලනය නිසාම කඩේ අයිය පස්සෙ කාලෙක පුදුමාකාර දුකක් වින්දා රස්සාවක් කලෙත් නෑ පවුල් පන්සල් වුනෙත් නෑ පුල්ටයිම් කරන නිසා...ජීවිතේම නැති නාස්ති කරගෙන අසනීප වෙලා දැන් මල්ලි කෙනෙක් ළඟ ඉන්නව, බාප්ප මැරුණු වෙලාවෙ බෝතලේ ගියාම අන්තිමට මට හම්බවුණේ.
ගෙදර මහප්පට හිටියෙ එක පුතයි ඒ චන්දරේ අයිය,එයත් බොහොම හොඳට ගොවිතැන්බත් කරගෙන ඉඳල කරුමෙට වගේ නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්ත,පවුලගෙ කීමට මහ විසාලෙට තිබ්බ පරණ ගේ කඩල පොඩි මඩුවක් වගේ ගෙයක් හදාගත්ත...
කඩේ මහප්පට පස්සෙ බාප්ප දේවාලෙ කපුකම බාරගත්ත,ඔය කාලෙදිම ගෙදර මහප්පත් මියැදුනා...ඔන්න ඔහොම වැඩ කෙරීගෙන යද්දී පත්තිනි දේවාලෙ හළඹ ආගිය අතක් නැතුව ගියා,දන්න හැම ආකාරයටම හොයල බැලුව නිමිති පේන බැලුව මොකුත් හරිගියෙ නෑ...අන්තිමේ බාප්ප ප්‍රසිද්ධියෙම තර්ජනයක් කළා...
මම නරක මිනිහ කියන්න එපා ගත්ත කෙනෙක් හළඹ ගෙනල්ල දාපල්ල කිසිම සෝලියක් තියන්නෙ නෑ...හැබැයි එහෙම නොකොළොත් හෙට මම පළි ගහනව...
හළඹ ලැබුනෙ නෑ,පහුවදා උදේම බාප්ප නාල එහෙම දෙහි බෑයකුත් ඔළුවෙ ගාගෙන මල් පළතුරු වට්ටියකුත් අරං දේවාලෙට ගියා, ගිහිං වැඳල එහෙම යාතිකාව පටන් ගත්තා...
පස්වාන් දහසකට බුදුවන්ඩ පත්තිනි දේව මෑණියන් වහන්ස ඔබ වහන්සෙගෙ දෙපා මුල වැඳ වැටිල ඔබ වහන්සේගේ ගැත්තාවන මේ නරපනුවා ඔප්පු කරන්න හදන මේ අවනඩුව අහල මේ නරපනුවාට සාධාරණයක් ඉස්ට සිද්ධ කරන්න හොඳයි...ඒ අවනඩුව මොකක්ද කියල කියනවනං ඔබ වහන්සේගේ පයලන අවුරුදු සිය දහස් ගාණක් මේ ඉස්තානේ වැඳුම පිදුම් කරන්නට බාරහාර ඔප්පු කරන්නට එන මේ ගං කොටුවේ අහළ පහළ ගං කොටුවල ඔබ වහන්සේගේ අනාඥාව පවතින හතර හීමාවේ නර පනුවන්ගේ ඉහ තියා සෙත් සාන්ති කරන්නට ඒ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ කාලයේ පටන් යොදා ගත්තා වූ ඒ මහානුභාව සම්පන්න හළඹ පහුගිය කීප දවසක ඉඳන් ආගිය අතක් නැතුව තියනවාය...මේ නරපනුවා දන්නා කරන විදියට හොයා බැලුවත් සාත්තර පේන අහල බැලුවත් වැඩක් උනේ නැතිඑක ඔබ වහන්සේගේ ගැත්තා වන මේ නරපනුවාට විඳ දරාගන්නට බැරිය...ඒ නිසාවෙන් ගැත්තාට අනුකම්පා කර ඔබ වහන්සේ පයලන හළඹ හොරකම් කරපු මොකා හෝ එකා ඔබ වහන්සේගේ දිවැසින් බලා සොයාගෙන ගැත්තාට පෙන්නා වදාරන්නට හොඳයි ඒ වගේම ඒ කරන්නට යෙදුනාවූ අවකාරියට හරියන දඬුවමකුත් ඔබ වහන්සේම දීල වදාරන්නට හොඳයි...පස්වාන් දහසකට බුදුවෙන්න මේ මා කියන්නට යෙදුනු අවනඩුව හැකි විගැහින් සොයා බලා විසඳුමක් දෙන්නට හොඳයි අවසර ආයිබෝ....
අපූරුවට ගොයිතැන් බත් කරගෙන හිටපු චන්දරේ අයියගෙ අතේ අමාරුවක් හැදුනෙ ඊට සතියකට විතර පස්සෙයි...මුලිම්ම දකුණු අතේ මැණික්කටුව ලඟින් පටන්ගත්ත වේදනාව එන්න එන්නම දරුණු වුනා,ගොඩ වෙදකම් කරල හරිගියෙ නැතුවම සිංහල වෙදකම් කළා ඒත් බැරිතැන ඉස්පිරිතාලේ ගියා මොනම ආකාරයකටවත් අතේ අමාරුව හරිගියෙ නෑ, අන්තිමේ මැණික්කටුව ලඟින් දකුණු අත කොරවුනා...ඒ අතෙන් මොනම වැඩක්වත් ගන්නට බැරි ආකාරයට පත්වෙලා නතරවුණේ...
ඊට මාසෙකට විතර පස්සෙ චන්දරේ අයියගෙ ඔලුව නරක් වුණා නුහුගුණේ වගේ කියවන්න ගත්තා...ඔන්න ඔහොම විඳවල විඳවල තිරිසනෙක් වගේ දුක් විඳපු චන්දරේ අයිය දැනට අවුරුද්දකට එකහමාරකට විතර ඉස්සරවෙලා මැරිලා ගියා...කොහොමහරි අපිට මළගෙදරවත් යන්න වුණේ නෑ...
බාප්පගෙ බාලපුතා ආනන්ද දැන් දේවාලෙ කපු වැඩේ කරගෙන යනව, මීට ටික දවසකට කලින් ඔය දේවාලෙ ගැන පත්තරේක ගියපු ලිපියක ආනන්දගෙ පින්තූරෙත් තිබුන මම දැක්ක...
හැබැයි ඉතිං ලියවුනේ නං මම කියන්න ආපු කතාව නෙවෙයි,කියන්න ආපු කතාව මොකද්ද දන්නවද අද උදේ ලංකාදීප පත්තරේ කියවද්දි දැකපු පින්තූරයක් නිසා මම අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගියා...පින්තූරෙ තිබුනෙ මම පොඩිකාලෙ මහප්පල කඩේ අයියල චන්දරේ අයියල එක්ක කුඹුරු වැඩ කරපු ලස්සන වෙල්යාය...ඒ වෙල්යායට කිව්වෙ බෝගහවට වෙල්යාය කියලයි, වෙල මැද තිබුණු පෞරාණික අම්බලමේ පින්තූරෙකුත් එක්ක...අපි වයසට ගියත් වෙල්යාය තාම තරුණයි, ඔය වෙල්යායේ හැම කුඹුරකම මම හාල පෝරුගාල වපුරල තියෙනව ගොයං කපල තියෙනව...වටේ කඳු වල්ලලත් එක්ක බලන්න ලස්සනේ බෑ...
වෙල් වැඩ කරද්දී වැස්සක් ආවොත් වැස්සෙන් බේරෙන්න අපි ගියෙ ඔය අම්බලමටයි ඒ කාලෙ අම්බලමට සිංහල උළු හෙවිල්ලල තිබුනෙ ඔයිට වඩා ප්රතාපවත් පෙනුමකුත් තිබුණා...කුඹුරු වැඩ කරල මහන්සියට විටක් හපල ගිමන් නිවාගන්න අම්බලමට ගියපු වාර අනන්තයි, ඒ ආපහු නොඑන ලස්සන අතීතය ච්ත්‍රපටයක් වගේ මට මැවිලා පෙනුනා අද ඒ හිටපු අය කොහෙද...හිතට මහා පාළුවක් දැනෙන්න උනා...
අම්බලම පින්තූර උපුටා ගැනීම ලංකාදීප පත්‍රයෙනි.
එළඹෙන 2014 බ්ලොග් අවකාශයේ සියලුම සොයුරු සොයුරියන්ට සුබම සුබ නව වසරක් වේවා!!!
බාප්පගෙ බාලපුතා ආනන්ද දැන් දේවාලෙ කපු වැඩේ කරගෙන යනව, මීට ටික දවසකට කලින් ඔය දේවාලෙ ගැන පත්තරේක ගියපු ලිපියක ආනන්දගෙ පින්තූරෙත් තිබුන මම දැක්ක...
හැබැයි ඉතිං ලියවුනේ නං මම කියන්න ආපු කතාව නෙවෙයි,කියන්න ආපු කතාව මොකද්ද දන්නවද අද උදේ ලංකාදීප පත්තරේ කියවද්දි දැකපු පින්තූරයක් නිසා මම අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගියා...පින්තූරෙ තිබුනෙ මම පොඩිකාලෙ මහප්පල කඩේ අයියල චන්දරේ අයියල එක්ක කුඹුරු වැඩ කරපු ලස්සන වෙල්යාය...ඒ වෙල්යායට කිව්වෙ බෝගහවට වෙල්යාය කියලයි, වෙල මැද තිබුණු පෞරාණික අම්බලමේ පින්තූරෙකුත් එක්ක...අපි වයසට ගියත් වෙල්යාය තාම තරුණයි, ඔය වෙල්යායේ හැම කුඹුරකම මම හාල පෝරුගාල වපුරල තියෙනව ගොයං කපල තියෙනව...වටේ කඳු වල්ලලත් එක්ක බලන්න ලස්සනේ බෑ...
අම්බලම පින්තූර උපුටා ගැනීම ලංකාදීප පත්‍රයෙනි.
එළඹෙන 2014 බ්ලොග් අවකාශයේ සියලුම සොයුරු සොයුරියන්ට සුබම සුබ නව වසරක් වේවා!!!