Monday, December 29, 2014

ක්ලින්ට් ඊස්ට්වූඩ් ආනෝල්ඩ් ස්වාසෙනගර් සහ අල්ලපු ගෙදර කෙල්ල.


 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල මේ අවුරුද්දෙ අවසාන පෝස්ටුව ලියමු.පහුගිය අවුරුද්දෙ පෝස්ට් එකසිය ගාණක් ලියවුනාට මේ අවුරුද්දෙ යන්තං පනහ පැන්නුව විතරයි.එහෙම ලියාගත්ත එකත් ලොකු දෙයක් කියල දැන් හිතෙනවා.ඊට වඩා ලියාගන්න තිබුන නං හොඳයි නමුත් මොනව කරන්නද, ලද දෙයින් සතුටුවෙන්න කියල කතාවකුත් තියෙනවනෙ.ඒ නිසා එහෙම හිතල හිත හදාගන්නව.

අවුරුද්දෙ අවසාන පෝස්ටුව මොනව ගැන ලියන්නද කියල මම කල්පනා කළා.පහුගිය මාසෙ නන්දා මාලිනි ආපු කතාව ලියන්න පටන් ගත්තා,ඒ වුනාට පින්තූරයි, වීඩියෝ ටිකයි තාම ඉල්ල ගන්න බැරිවුනා.මට එදා කැමරාව ගෙනියන්න බැරිවුනා,ඇත්තම කිව්වොත් මම කැමරාව ගෙනිච්චෙ නෑ.ඒ සංගීතෙ ගොඩක් කාලෙකට පස්සෙ පැය දෙක තුනක් එක විදියට ඉඳගෙන බොහොම ආසාවෙන් රස විඳපු ප්‍රසංගයක් වුණා.ඉන්ටිපල් එක වෙලාවෙ ප්‍රසංගයේ පූරක හෙවත් ගීතවල අටුවා ටීකා කියපු අපේ හිතවත් ඉන්දිකගෙ මිත්‍රයා වුන බන්දුල නානායක්කාරවසම් එක්ක මම කතාකලා.ඉන්ටිපල් කියන වචනෙ මම ඇහුවෙ මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ල එක වෙසක් රැයක මීරිගම මිහිර හෝල් එකේ රෑ දොළහෙ ෂෝ එක බලන්න පෝලිමේ ඉන්නකොටයි.ඒ කාලෙ වෙසක් එකට සෙනග වැඩි නිසා රෑ නවයෙ ෂෝ එකට පස්සෙ තවත් එකක් දැම්මා.ඔන්න අපි පෝලිමේ කට්ට කාගෙන ඉන්නකොට (එතකොටත් නමේ ෂෝ එක දුවනවා)ඉන්ටවල් බෙල් එක ගහපුවම කොල්ලෙක් තව එකෙකුට කතා කරලා අපිවත් පෙරළගෙන ඇතුළට දිව්වා.

වරෙන් වරෙන් යකෝ ඉන්ටිපල් පටන් ගත්තා...

බලපුවම හෝල් එකේ වඩේ විකුණන්න ආපු කොල්ලෙක්.ඒ නං අපි ගෙදර ඉඳල වෙසක් බලන්න ආව දවසක වෙච්ච දෙයක්.ඒ වුනාට මම ඒ කාලෙ වැඩිපුරම ෆිල්ම් බැලුවෙ බෝතලේ අපේ අම්මලගෙ ගමේ ඉන්නකොට මීරිගම ඇවිත්.මීරිගම හෝල් දෙකයි ටවුමෙ එහා කෙරෝලේ මීරිගම සෙන්ට්‍රල් එක ළඟ මිහිර හෝල් එක සහ මෙහා කෙරෝලේ වෙල ගාව පැට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ ගාමිණී හෝල් එක.ඒ කාලෙ තිබුණෙත් චිත්‍රපට සමාගම්  දෙකයි මිහිර සිනමාස් එකේ.ගාමිණී සිලෝන් තියටර්ස් එකේ.

අපි හතර දෙනෙක් බයිසිකල් දෙකක නැගල බෝතලේ ඉඳන් මීරිගමට හැතැප්ම හත අටක් මඩම පාරෙ  සයිකල් පදිනවා.ඒ පාරත් නිකං තැනිතලා පාරක් හෙම නෙවෙයි මහ උස කඳු තුන හතරක්ම තියෙනව.ඒ උනාට බහින්නෙ ස්කවුට් කැලේ හරියෙ පුරාණ මීරිගම කන්දෙ විතරයි.ගාමිණී හෝල් එකේ නමේ ෂෝ එක බලල රෑ කඩෙන් තේ බීල වැනිල සුරුට්ටුවකුත් බිබී සයිකල් පැදගෙන බෝතලේට යද්දි මහ රෑ දෙක තුන වෙනවා.

දැන්නං පැට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ ගාමිණී හෝල් එක නෑ.ඒ වෙනුවට ගෙදර යන ගමන් කඩයක් තියෙනවා. ඊට එහා පැත්තෙ අරක්කු බාර් එක.ගෙදර යන ගමන් කඩේ අරක්කු නෑ මම දවසක් පවුලගෙ ගෙදර යන ගමන් ගෙදර යන ගමන් කඩේට ගිහිං බෝතලයක් ගන්න බලපුවම ඒකෙ බෝතල් තිබ්බෙ නෑ.ලයිසන් එකක් තාම නෑ කියල සිකුරිටි කොල්ල මගෙත් එක්ක කිව්වා.මිහිර හෝල් එක නං තාම තියෙනව.ඒ හෝල් එකේ අපි ගොඩක් බැලුවෙ ඉංග්‍රීසි චිත්‍රපටි.කව්බෝයි චිත්‍රපටි බර ගාණක් ඒ හෝල් එකේ බලල ඇති.ඒ කාලෙ අපේ වීරයා වුනේ ක්ලින්ට් ඊස්ට්වුඩ්.ඔහු අස්සයා පිටේ යන විදිය,වෙඩි තියන විදිය,සුරුට්ටු බොන විදිය එහෙම අපි හරිම අගය කළා.අපි වැනිලා සුරුට්ටු බොන්න පුරුදු උනෙත් ඔය ක්ලින්ට් ඊස්ට්වුඩ් හින්දනෙ.

දැනට වයස අවුරුදු අසුහතරක් වන ක්ලින්ට් තාමත් කැලිපෝනියාවේ ජීවත් වෙනවා.මම කැලිපෝනියාවේ ඉද්දි ට්‍රයි එකක් දුන්න නං සමහරවිට මුණ ගැහෙන්නත් තිබුණා.කොහෙද මොළේ පහළ වෙද්දි පරක්කු වැඩියි.ඇයි තවත් සුප්‍රසිද්ධ නළුවෙක් වන ආනොල්ඩ් ස්වාසෙනගර් කැලිපෝනියාවේ ආණ්ඩුකාරය.ඔන්න සැරයක් රජා කැලිපෝනියාවට ආපු වෙලේ පිළිගැනීමේ උත්සවයට එන්න කියල ස්වාසෙනගර්ටත් ආරාධනාවක් කළා.ආණ්ඩුකාරයනෙ කියන්ඩම එපැයි.මොන පිස්සුද එනව  තියා පොර ආරාධනාව තඹ සත පහකට ගණන් ගත්තෙ නෑ.

හැබැයි මමනං දවසක්දා ස්වාසෙනගර්ව දැක්ක.ඒ මෙහෙමයි අපි  පන්සලක කටිනෙට සහභාගී වෙන්න යද්දි මග තිබුණ රූපගත කිරීමක ස්වාසෙනගර් හිටිය කියල සෙනෙවිරත්න කිව්වා.

අන්න අන්න ස්වාසෙනගර් දැක්කද?

හැතැප්ම අසුවක විතර වේගෙන් වාහනේ යද්දි සෙනෙවිරත්න කියනවා,මොකෝ නවත්තල ආපහු ගිහිං බලාගන්න කියලයැ අපිත් ඔලුව හොල්ලල නිකං හිටියා.හරියට මහ රෑ එකට දෙකට කතරගම රජ මාවතේ යද්දි ජයකොඩි අපට වල්අලි පෙන්නුව වගේ.දකුණු කැලිපෝනියාවේ ශ්‍රී ලංකා පන්සල් 13 ක් ඒ දවස්වල තිබුණා.ඔය පන්සල් හැම එකකම කටිනෙට අපටත් එන්න කියල ආරාධනා කරනවා.එක පන්සලකට  ගිහිං තව එකකට නොගිහිං හිටියොත් හාමුදුරුවන්ගෙ හිත නරක් වෙනවා.ඒ නිසා තියෙන හැම වැඩක්ම කල්දාල කටිනෙට නොවරදවාම සහභාගී වෙනවා.ඒ දවස්වල කටින පිංකමක් තනියම කරන්න පුළුවන් තරමට පිංකමේ කෙරෙන හැම දෙයක්ම කට පාඩම් වෙලා තිබුණා.

පිංකම ඉවරවෙලා හාමුදුරුවන්ට දානෙත් දීල ගිහියන් වෙන අපි දානෙට ගියාම තමයි වැඩේ තියෙන්නෙ.දිග මේසෙක කෑම තියෙල තියෙනව.මේසෙ පංසලේ එහා කෙළවරේ ඉඳල මෙහා කෙලවරට දිගයි.ඔය මේසෙ මුල ඉඳල අගටම කෑම බාජන තියෙනවා.ඇයි ඉතිං අපි ඇරෙන්න එන හැම දායකයම මොනව හරි කෑම වර්ගයක් අරං එනවනෙ.ඔන්න ඉතිං අපිත් මුලින්ම ඩිස්පෝසබල් ප්ලාස්ටික් පිඟන් අරගෙන පෝලිමේ යනවා.ඉස්සෙල්ලම බත් බේසම්.එක එක ජාතියෙ ඒවා.සුදු බත්,රතු බත්,කහ බත්,එළවලු බත්,දුන්තෙල් බත්,ප්‍රයිඩ් රයිස් ඔය වගේ බත් වර්ග දහයකට වැඩියි.ඊට පස්සෙ පරිප්පු කියමුකො පරිප්පු බාජන විස්සක් විතර අර්තාපල් ගත්තොත් ඒවත් එහෙමයි උයල බැදල තෙල් දාල ආදී වශයෙන් ඊළඟට මාළු ඒවත් එහෙමයි මිරිසට, කිරට, බැදපු මාළු ඒ වගේ බාජන ගොඩයි චිකන්,බෝංචි,කජු,ආදී වශයෙන් බොහොම පරිස්සමෙන් චූට්ට චූට්ටබෙදාගත්තත් මේ වෙනකොට පිඟානේ සෑහෙන ප්‍රමාණයක් පිරිලා.තව මේසෙ බාගයක්වත් දුර ගිහිං නෑ.බොහොම අමාරුවෙන් මේසෙ කොණටම ගිහිං අන්තිමටම රෝ සැලඩ් ටිකයි කට්ලට් එකකුයි පපඩම් කෑලි ටිකකුයි කෑම එකේ උඩින් තියාගත්තම පිඟාන අරං එන අසරණය කවුද කියල කාටවත් හොයන්න බෑ මුණ පේන්නෙ නෑ.

මොන ආකාරයට බෙදාගත්තත් ඔය සෙතේ ඔහොමම වෙනවා.අන්තිමට කිරිපැණි තියා කෙහෙල් ගෙඩියක්වත් කන්න බැරි තරමට උස්මුරුත්තාවටම එනතුරු කෑම කාල.ඉතිං බොහොම අමාරුවෙන් ග්‍රේප්ස් ගෙඩි දෙක තුනක් කාල නිකං ඉන්නවා.යන්න ලෑස්තිවෙලා හාමුදුරුවන්ට වඳින්න ගියාම හාමුදුරුවො කෑම අරං යන්න කියනවා.

අනේ මේ ඔය යන අය ඔක්කොම කෑම අරං යන්න,ඔය කෑම මොකුත් මෙහෙ පංසලේ ඉතුරු කරල යන්න එපා අපරාදෙ අහක යනවා...

කෑම අරං යනව තියා ඒ වෙලාවට කෑම දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ බඩ උස්සගන්නවත් බැරි තරමට තියෙද්දී රෑට තියා තව දෙතුන් වේලකට කෑම ටිකක් කන්න බැරි ගානට හිතෙන්නෙ.ඒත් ඉතිං හාමුදුරුවො තරහ වෙයි කියල කේක් කෑල්ලක් කෙසෙල් ගෙඩියක් ඔතාගන්නවා.

ආ මහත්තය යන්නද හොඳා හොඳා ගෙනියන්න කෑම ටිකක් ගත්තද?

එහෙමයි එහෙමයි අපේ හාංදුරුවනේ ගත්ත මේ තියෙන්නෙ ...

හොඳයි එහෙනං ගිහිං එන්නකො තෙරුවන් සරණයි...

ආපහු එනකොට නං කිසිම කතාවක් නෑ ගෙදරට එනකං කොහෙ ගියාද දන්නෙ නෑ නිදි.අපි හිටිය ල බ්‍රියා හවුසිං එකේ ගෙවල් තිබුනෙ වට රවුමට සහ මැද පොදු තණ පිටියක්.ඒ වගේ රවුමට ගෙවල් සහ තණ පිට්ටනි ගණනාවක් ඒ විශාල නිවාස ක්‍රමයේ තිබුණා.ගෙවල්වල ඔක්කොම අය සහ පොඩි ළමයි ඔය තණ පිටිය තමන්ගෙ විවේකය ගත කරන්නටත් සෙල්ලං කරන්නටත් යොදා ගත්තා.අපේ අල්ලපු ගෙදර හිටියෙ තරුණ ජෝඩුවක්.කොල්ල නිතරම ගෙදර ආවෙ නැති නිසා බෝනික්කියක් වගේ හුරතල් කෙල්ල වැඩ ඇරිල ඇවිත් ගොඩක් වෙලාවට ඔය තණ පිටියෙ පුටුවක වාඩිවෙලා පොඩි උන්ගෙ සෙල්ලං බලමින් මොනා හරි කමින් බොමින් කාලය ගතකළා.

මමත් හවසට පොත් කියවන්න ගේ පිටිපස්සෙ ගහක් යටට යන නිසා අපි එකිනෙකා දැන හඳුනා ගත්තා.දවසක මේ කෙල්ල ගහයටට රෙඩ් වයින් බෝතලයක් ගෙනත් මටත් බොන්න කතාකළා.මමත් නිකං යන්න බැරි නිසා අර්තාපල් චිප්ස් ටිකකුත් බැදගෙන බෝතලේට සහබාගි වුණා.නිතරම ගේ පිටිපස්සෙ ඉන්නව නං අපි මොනව හරි බෙදා හදාගෙන කනවා.දවසක් දා මම ඉඳිආප්පයි පොල් සම්බෝලයි දුන්නම කෙල්ල ගෑරුප්පුවෙන් කන්න උත්සාහ කළා.

ඔය ජාතිය ගෑරුප්පුවෙන් කන්න බෑ පුළුවන් නං අතින් කන්න එතකොටයි රස තියෙන්නෙ...

උත්සාහ කළාට කෙල්ලට අතින් කාගන්න බැරිවුනා.දවසක් කෙල්ල හෙනසි බෝතලයක් අරං ඇවිත් තිබුන නිසා මම මොකද මේ වෙනස කියල ඇහුවා.

අපි දෙන්න අද ඩිවෝස් වෙන්න නඩුව ෆයිල් කළා ඒ සතුටට බොමු...

ඒ මොකද ඔය දෙන්න මේ අද ඊයෙ වෙනකං සතුටින් හිටියනෙ...

හිටිය නං තමා ඒ වුනාට සතුටින් නෙවෙයි, අපි දෙන්න නොගැලපෙන බව අපට තේරිලා ගොඩක් කල්...

මම සිරිතක් වශයෙන් කෙනෙකුගෙ පුද්ගලික දේවල් එයා කියන්නෙ නැතිනං හාර අවුස්සල අහන්නෙ නැති නිසා ඒ ගැන ඊට වඩා දෙයක් ඇහුවෙ නෑ.බෝතලේ ඉවර කරන්න හවුල් උනා.ඊට දවස් කීපෙකට පස්සෙ ඒ ජෝඩුව ගෙදර බඩු අස්  කරගෙන දෙන්න ගමනාන්ත දෙකකට යන්න ගියා.ඒ දවස්වල ගේ පිටිපස්සෙදි මම ගත්ත ඒ කෙල්ලගෙ පිංතූරයක් නං මට ඊයෙ පෙරේද හම්බවුනා.මට මේ කතාව මතක් වුනෙත් ඒ පින්තුරෙ දැකපුවමයි.ඉතිං අමතක වෙයි කියල ලියල තියන්න හිතුවා.

විස්තරේ තාම ඉවර නෑ ඒ වුනාට මගෙ කතාව ඉවර කරන්න ඕනැනෙ.දැන් තියෙන්නෙ කතාව අවසන් කිරීම සහ නව වසරට සුබ පැතීම.ඉතිං 2014 අවුරුද්ද පුරාවටම මගෙ බ්ලොග් එක කියවන්න ආපු සොහොයුරු සොහොයුරියන් සියලු දෙනාටම ලබන්නාවූ 2015 අලුත් අවුරුද්ද සියළුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන,බත බුලතින් බව බෝගයෙන් මිළ මුදලින් අඩු නොවන ඉසුරුමත් අවුරුද්දක් වේවායි ඔබේ හිතවත් හැලපයා වන මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අවුරුද්දෙ මුල අපේ මෑණියන්ගෙ අභාවයෙන් වසරක් පිරෙන දානමය පිංකම් කටයුත්ත යෙදිලා තිබෙන නිසා මමත්  ලංකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.ආවහම හමුවෙමු.සැමට සුබ නව වසරක් වේවා෴

Sunday, December 21, 2014

ජයාගෙ චීන කොට්ටං ඇට ගොඩ, අට්ටගෙ මහාමේරු පරුවතේ සහ ජනාධිපතිවරණය.


අදට මොකුත් ලියන්න බැරිවෙලා සති කීපයක් වුනා .ලියන්න ලොකුවටම ඕනෑකමකුත් තියෙනව ලියන්න දේවලුත් තියෙනව නමුත් ලියවෙන්නෙ නෑ.කතා හතරක් පහක් ඔලුවෙ තියෙනකොට මොන කතාව ලියන්නද හිතා ගන්න අමාරුයි.එකක් ලියන්න හදනකොට ඒක පරද්දල වෙන එකක් ඉස්සරහට එනවා ආයෙම තව එකක්,ඔය ඔක්කොම පැටලිලා ගුලිවෙලා අවුල්වෙලා අන්තිමට ප්‍රතිඵලේ වෙන්නෙ මොකුත්ම ලියන්න නොහැකිවීමයි.

එකකට එකක් පරදින්නෙ නැතුව ඉස්සරහට එනවා කියපුවම මට එකපාරටම මතක් වුණේ ජයා කොල්ලව, අපි ජයා කිව්වට ඉස්කෝලෙට නම වෙන එකක්.ඉස්කෝලෙ කිව්වෙ ගුණවර්ධන කියල, ජයා  කරෝලිස්ගෙ පුතා මගේ පාසැල් මිත්‍රයා,ගමේ තිබුණු කනිෂ්ට විද්‍යාලයට අපි දෙන්න ආවෙගියේ එකටමයි.ජයා කරපු නැති ගෙදර වැඩ මම ලියල දෙනවා ඒ වෙනුවට ජයා මට ඉස්කෝලෙ ගෙනියන්න ගොම ඇහිඳල දෙනවා කොළ කඩල දෙනව ආදී දඩාවතේ කරන්න තියෙන සෑම සියලු වැඩක්ම කරදෙනවා.දවසක්දා උදේ ඉස්කෝලෙ යද්දී අපි දෙන්නම ගෙනෙන්න කියාපු ඉරටු ලෑස්තිකරගෙන ගිහිං තිබ්බේ නෑ.පාරෙදී ඔය කතාව ජයාට කියාපු ගමන්ම පොඩ්ඩක් ඉන්නකො කියල කියපු ජයා අලවත්තට පැනල විදුලි වේගෙන් පැළ පොල්ගහකට නැග්ගා.නැගල රත් පැහැ ගැනිල වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ නාම්බන් පොල් අත්තක් බිමට ඇදල දාල ඒ වේගෙන්ම බැහැගත්තා.අපි දෙන්නම ඒ පොල් අත්තෙන් ඇතිවෙන්න කොළ ගලවන් ඉරටු සුද්දකරගෙන හොඳ ළමයි වගේ ඉස්කෝලෙට ගියා.

ජයා ගස් නගිනව දැකපු කෙල්ලො කීපදෙනෙක් පංතියේ නෝම්මහත්තයට ගින්න දීල වැඩේට අපි දෙන්නව අහුවුනා.අපි දෙන්නව කෙලින්ම ලොකු මහත්තය ලඟට යවල නඩුත් අහල වේවැල් පාරවල් දෙක දෙක දීල පීරියඩ් එකක් දන ගස්සල තිබ්බා.ගුටි කෑව කියල අපිනං පයිසෙකටවත් ගණන් ගත්තෙ නෑ එදා ආපහු එන ගමනුත් කුරුම්බා කඩාගෙන කෑවා.ඉතිං ඔන්න ඔය ආකාරයට සාර්ථකව ප්‍රාථමික අධ්‍යාපනය ලබපු අපි දෙන්නගෙන් මම හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යද්දි ජයා එහෙමම ගෙදර නැවතිලා තාත්තගෙ කරුමාන්තෙට උදව් කරන්න ගත්තා.

ඊට පස්සෙ අපි දෙන්නගෙ ආශ්‍රය දුරස් වුනා පස්සෙකාලෙක කම්වූ පරිද්දෙන් පෙලවහකුත් කරගත්ත ජයා බිරින්දෑව ගෙදරට එක්කං ආවා.මේ යුවළට නිවුන් දරු සම්පතකුත් ලැබුණා.ජයා විනෝදාංශය වශයෙන් කලේ අලවත්තෙ හාවො එළවපු එකයි.මේ වැඩේටම හරියන්න හදාගත්ත දඩයම් බලු හමුදාවකුත් ජයා සතුව හිටියා.මගෙ අන්නාසි හොරු කතාවෙත් මම ජයා ගැන ලියල ඇති.

එකකට එකක් පරදින්නෙ නැති කතාවත් කියලම ඉන්නංකො.අපේ ගංපළාත්වල ඩොංග ගස් හරියට තියෙනවා.ඩොංග වලට අපි කියන්නෙ චීන කොට්ටං කියලයි.වැඩේ කියන්නෙ අපේ ගං ටිකේ ඇරෙන්න ආයෙම චීන කොට්ටං  තියෙන්නෙ ඔය කළුතර සාවියෙ විතරයි.විශාල ගස්වල හැදෙන චීන කොට්ටං  කියන්නෙ බොහොම රස පළතුරක් හරියට මැංගුස් වගේ හැබැයි ඉදුනම කහපාටයි.බොහොම රස චීන කොට්ටං  හැදෙන පරණ ගස් කීපයක් කොල්ලො අඳුනගෙන තිබුණා.පරණ ගස් කිව්වෙ චීන කොට්ටං  ගෙඩි එන්න එන්නම මිහිරි රසයක් ගන්නෙ ගස් පරණ වෙනකොටයි.ඉතිං චීන කොට්ටං  ඉදෙන කාලෙට ඔය ගස්යට කොල්ලො පොදි කමින් ඉදුණ චීන කොට්ටං  වලු වලට පොලු ගහනවා.ගහ යට කහම කහ පාටට චීන කොට්ටං ලෙලි. කොල්ලො කාල විසිකරන ලෙලියි,රෑ වවුල්ලු කාල බිමට දාපු චීන කොට්ටං ලෙලියි මොකුත් නෑ කහපාට පාවඩයක් අතුරලා වගේ.

චීන කොට්ටං ගෙඩිය දෑතින් තදකරල පලාගෙන මද සුප්පු කරද්දි හරිම රහයි.රහ කොච්චරද කිව්වොත් සුප්පු කරපු ඇටේ කටිං එලියට වීසි කරන්න හිත්දෙන්නෙ නෑ.එහෙමම ගිලල දානවා.හැබැයි ඔය චීන කොට්ටං ඇටේ මැංගුස් ඇටේ වගේ යන්තං රොඩ්ඩ වගේ තියෙන ඇටයක් නෙවෙයි.තරමක් විසාලයි.ඉතිං කෙනෙක් චීන කොට්ටං ගෙඩි පහ හයක් කෑවොත් ඇට විසිහතරක් විසිපහක් නිකම්ම බඩ ඇතුලෙ.රස කර කර චීන කොට්ටං කෑමෙ රඟේ තේරෙන්නෙ පහුවදා බඩ වේලපුවමයි.අනික ඔය චීන කොට්ටං හරි ගිනියමයිලු කියල අපේ අම්මල කියන්නෙ අපි ඉවරයක් නැතුව චීන කොට්ටං පල පලා කද්දියි.

ඉතිං ජයාත් අනික් කොල්ලො වගේම චීනකොට්ටං වාරෙට හැමදාම මදි නොකියන්න චීනකොට්ටං ගිලදැම්මා.ඒ මදිවට ගොරක ගස්වල ඉදිච්ච ගොරක තියෙනව නං ඒවත් අත ඇරියෙ නෑ.ඉතිං ගොරක ඇටයි චීනකොට්ටං ඇටයි මුගේ බඩේ පිරිල කියල වික්කරේ කිව්වා.

ජයා  කොච්චර ගොරකයි චීන කොට්ටනුයි කෑවද කිව්වොත් හොඳටම බඩ වේලුවා.බඩ කකියනවා හැබැයි බඩ යන්නෙ නෑ දවසක්දා මං බලාගෙන හිටියෙ.කොච්චර බඩ රිදෙන්න අරන්ද කිව්වොත් මුගේ කටත් ඇදවෙලා.ඒ වෙලාවට  අලවත්තෙ අකුලක වාඩිවුනාට බඩයන්නෙ නෑ.බඩ ඇතුලෙ වෙන්නෙ මොකද දන්නවද,ඔන්න චීන කොට්ටං ඇට ටික පේලියට එළියට එන්න එනකොට ගොරක ඇට ටිකට තද වෙනවා.හහ් තොපි කොහොමද  මට ඉස්සෙල්ල යන්නෙ?ඉඳපියව් යන හැටි පෙන්නන්ඩ,කියල ගොරක ඇටේ බ්රූස් ගාල පහළට ඇවිත් චීනකොට්ටං ඇට ටික ඕල්ටේක් කරලා හරහට දානවා.ඔන්න ඔක්කොම ඇට ටික හිරවෙනවා.අනේ ජයා වේදනාවට දත් මිටි කනවා කෙඳිරි ගානවා, මොන පිස්සුද.හිරවෙලා තියෙනව මිසක් යන්නෙම නෑ.

ඔහොම දුක් වේදනා විඳල විඳල ඔන්න ඉස්ප්‍රේ මැෂින් එක ඉස්ටාට් කළා වගේ බ්රූස් ගාල ඔක්කොම ගියා.පස්සෙ මම එතනට ගිහිං ඇට කීයක් තියෙනවද කියල ගැනල බැලුව.කීයක් තිබුනද දන්නවද?ඇට එකසිය විසිඅටක් තිබුණා.මූ කොහොම ඇට ගිලිල්ලක් ගිලල ඇද්ද?

වික්කරේ අපිත් එක්ක කිව්වෙ අලවත්තෙ පොල් ගහක් යට ඉඳගෙන කතා කර කර ඉද්දියි.

ඊට පස්සෙ නං ජයා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති නේද?

මොන පිස්සුද.ආයෙ පහුවදා ඉඳන් චීන කොට්ටං ගස්වලට පොලු ගගහ ගියෙ.ඌ ඉගෙන ගන්න පාඩං.

වික්කරේගේ කතා කියන්න ගියොත් පන්සිය පනස් ජාතකේට එකක් හරි වැඩි මිසක් අඩු නෑ.දෙන්නෙ ලණුමයි.අපිත් හැමදාම ලණු කනවා ආයෙ අහුවෙන්නෙ නෑ කියල හිතාගෙන හිටියට පහුවදත් ඊට වඩා ලොකු ලණුවක් කනවා.

ඔන්න ඒ කාලෙ අට්ටට ගිටාර් පිස්සුවක් තිබුණා.කණ්ඩායම් සංගීතෙ නැගල ගිය කාලෙනෙ.ඉතිං මුට හැදුන පිස්සුව එසේ මෙසේ එකක් නෙවෙයි.ගිටාර් එකක් අයිති කරගන්නෙ කොහොමද කියල අට්ටා හැමදාම හිතින් දුක් වින්දා.ඔන්න දවසක් හවස්වීගෙන එන වෙලාවක වික්කරේ දෙකක් දාගෙන එහෙම අට්ටලයි මිදුලෙන් යනකොට අට්ටා ඉස්තෝප්පුවෙ බිත්ති කණ්ඩිය උඩ වාඩිවෙලා කකුල් හොල්ල හොල්ල ඉන්නවා.

ආ ළමයො,තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ ළමය දැක්කහමයි මතක් උනේ.අන්න පොඩි මාම  ගාමිණිය ගාව ඉන්නවා,බඩු මල්ලකුයි තව මොකද්ද වීණාවක් වගේ එකකුත් උස්සගෙන.බලපංකො ඉතිං මං කොහොමද මේ ඔක්කොම උස්සං ගෙදර යන්නෙ.කෝ මේ ළමෙක්වත් නෑනෙ කියල කිව්වා.

ගිටාර් එකක්ද වික්‍රමසේන මාමෙ?

අට්ටා පැනල ඇහුවා.

වෙන්න ඇති මං ඕවයෙ නම් දන්නවැයි,ආං ගාමිණිය ළඟ ඉන්නවා...

කියාගෙන වික්කරේ යන්න ගියා.

ඇයි ඉතිං ඔයා උදව් කළේ නැත්තෙ කියල අහන්නවත් සිහියක් අට්ටට තිබුනෙ නෑ.බිත්ති කන්ඩියෙන් පැනපු පාර කඟවේනා වගේ එක හුස්මට ටවුමටම දිව්වා.ගාමිණිය ලඟට ගියාම එතන හිටපු මාමෙක් නෑ.අට්ටා ටිකක් වෙලා බලං ඉඳල මොනවද කාපු රිළව වගේ හැති හල හලා ආපහු ආවා. ඊළඟ සතියෙ ලොකු මාම නුවර ඉඳන් ඇවිත් බඩුත් අරං එන්න බැරුව රජවත්තෙ කනත්ත ළඟ ඉන්නව කියල අට්ට ගිහිං වරුවක්ම කනත්තෙ රස්තියාදු වෙලා ආවා.

වික්කරේගේ වැඩ ඔහොමයි.ඔය මනුස්සය මටත් අනන්තවත් ලණු දීල තියෙනවා.ඒ කතා ටික ටික වෙන වෙලාවක ලියන්න ඕනෑ.

අට්ටා ගැන ලියපු එකේ තවත් කතාවක් තියෙනව ඒකත් කියලම ඉන්නං.අට්ටගේ පවුලෙ දහදෙනයි.අට්ට වැඩුමලා,ඌට බාල සහෝදර සහෝදරියො නම දෙනෙක් හිටියා.දවසක්දා අට්ට කරපු දඟ වැඩකට තාත්තා අට්ටව ඉස්තෝප්පුවෙ දණගස්සල තිබ්බා.අපි කොල්ලො කට්ටිය එවෙලෙ අට්ටලගෙ මිදුලෙ සෙල්ලං කර කර හිටියෙ.අට්ට ඉස්තෝප්පුවෙ දණගහගෙන ඉද්දි ඔන්න අට්ටලගෙ ආච්චිඅම්ම අට්ටලගෙ ගෙදරට ආවහම ඉස්තෝප්පුවෙ දණගහගෙන ඉන්න අට්ටව දැක්කා.

ඇයි පුතේ උඹ දඟ කරන්නෙ,අම්මල තාත්තලට කරදර කරන්නෙ,ටිකක් හිතල බලපන්.උඹ දඟ කරල හරියනවද .මහාමේරු පරුවතේ උඹේ ඔලුව උඩ නේද මගේ පුතේ...

ආච්චිඅම්මා වෙවුල වෙවුලා කියනකොට අට්ටට බය හිතුණා.ඔලුව අතගාල බලපු අට්ටා මහා හයියෙන් අඬන්න ගත්තා.

කාලයක්ම ජයා දකින්න හිටියේ නැතුවම මම හිතංහිටියෙ ජයා පවුලගෙ ගමේ ගිහිං කියලයි,එත් ජයා මළා කියල පස්සෙ ආරංචි වුණා.ජයාට වෙච්ච දේ ගැන මම ආරංචි කරලා බැලුවෙ ඊටත් කාලෙකට පස්සෙයි.බොහොම අමාරුවෙන් හොයා ගත්ත තොරතුරු අනුව දවසම අව්වෙ වැඩකරල මහන්සිවෙලා ආපු ජයා එහෙම්මම සීතල වතුර නාල තියෙනවා.ක්ෂණිකව හැදුණු හෘදයාබාධයකින් ඔහුගෙ ජීවිතය නැතිවෙලා.

ජයාගෙ මරණෙන් පස්සෙ දරු දෙන්නව නැන්ද මාම ළඟ දාපු ජයාගෙ පවුල ආපහු ගෙදර යන්න ගියා,දරු දෙන්නා කරෝලිස්ගෙයි පවුලගෙයි ළඟ සැපසේ නැතත් බඩගින්නෙ ඉන්නෙ නැතුව හැදුණා වැඩුනා.ඉස්කෝලෙ ඉවරකලායින් පස්සෙ මේ කොල්ලො දෙන්න ජීවත්වෙන්න නොයෙක් දේ කළා.දෙන්නම පවුල් වුණායින් පස්සෙ ආර්ථික අහේනිය තදින්ම දැනුනා. 

තව දිගට ලියන්න කම්මැලියි කම්මැලියි වගේ හිතෙන නිසා තව කොටසකට යමු.මේ දවස්වල නැගල යන්නෙ දේශපාලන කතානෙ.මම දේශපාලනේ නොවන ඡන්දෙ ගැන ටිකක් ලිව්වා.මැතිවරණ රාජකාරි ගැන එහෙම,ඒකෙත් තව ටිකක් ලියන්නට තියෙනව.මට නං මේ සැරේ මැතිවරණ රාජකාරි නෑනෙ.ගෞරවනීයව වැඩ කටයුතු ටික අහවර කරගන්න ලැබේවා කියල රාජකාරියට යන අයට සුබ පතනවා.දේශපාලකයො ඡන්ද පොළට ආවට පුටුවෙන් නැගිටින්න අවශ්‍ය නෑ.ඉන්න විදියටම වාඩිවෙලා ඉඳන් දේශපාලකයටත් වාඩිවෙන්න කියල කතාබහ කරන්න.මෙහෙම ලිව්වෙ පහුගිය ඡන්දවල මම දැකපු පින්තුරවල දේශපාලකයො ඡන්ද පොළට ආපු වෙලාවට ජ්‍යෙෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරු නැගිටල බොහොම බයාදුවෙන් ඇඹරි ඇඹරි ඉන්න හැටි මම දැකපු නිසයි.එතකොට මටනං  නොහිතෙන දෙයක් නෑ,විළි ලැජ්ජයි.

ඒත් එක්කම රාජකාරියට ගියාම ලැබෙන කෑම බීම ගැන ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනෑ.පහුගිය ඡන්ද තුන හතරකදිම මම දැක්ක දෙයක් තේ දෙන වෙලාවට කවදාවත් ඔය කෑම කොමිටිවල ඉන්න උදවිය තේ එකක් කෝපි එකක් හදවල දෙන්න කරදර වෙන්නෙ නෑ.තොග පිටිං ගත්තු මයිලෝ පැකට් පැය විසිහතරෙම ලෝබ නැතුව බෙදල දෙනවා.බොහොම වෙලාවට ඔය මයිලෝ පැකට් නිසි උෂ්ණත්වයේ ගබඩා කර නොතිබීම නිසා බොන අයට බඩේ අමාරු හැදෙනවා.ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම පරිස්සම් වෙන්න.දුන්න පලියට බොන්න එපා මමනං ඔය වෙලාවටයි අවේලාවටයි හැම තිස්සෙම දුන්න මයිලෝ පැකට් බීවෙම නෑ.හොඳම දේ ලඟපාත කඩේකින් තේ එකක් බොන එකයි.

මෙදා සැරේ ගනින එකනං මහ ඡන්දෙක වගේ කරදර නෑ දෙගොඩ ගහපුවම වැඩේ ඉවරයි.මනාප ගනින්න නෑනෙ.ඒ නිසා අලුයම එක දෙක වෙද්දි ගණන් කිරීම අවසන් වේවි.මහ ඡන්දෙදි නං වැඩේ ඇදුනොත් දෙතුන් සැරේ ගනිනකල් ඉන්නත් වෙනවා.ගනින අය කොච්චර දවල් වෙනකං හිටියත් කෑම සපයන නෝනල මහත්තුරු නං එළිවෙද්දී ඒ ගොල්ලන්ගෙ කඩේ වහල දාල යන්න යනවා.එතකොට දවල් වෙනතුරු වැඩට ඉතුරුවෙන අයට ඉතිං ඇල්වතුරවත් නෑ.එසේ නොවී එළඹෙන  ජනාධිපතිවරණය මැතිවරණ රාජකාරිවල යෙදෙන සියළුම රජයේ නිලධාරීන්ට සුබම සුබ ජනාධිපතිවරණයක් වේවායි ඉතසිතින්ම සුබ පතනවා෴

Saturday, December 6, 2014

අසූ දෙකේ ඡන්දෙ ග්‍රාමසේවක සහ ග්‍රාමනිලධාරීයා


අපේ රටේ ඉස් ඉස්සෙල්ලම ජනාධිපති තේරීමේ ඡන්දයක් හෙවත් ජනාධිපතිවරණයක් පැවැත්වුවේ 1982 දීයි.හැබැයි ඒ වෙනකොටත් රටේ විධායක බලැති ජනාධිපතිවරයෙක් හිටියා.නමුත් ඔහු පත්වුණේ ජනාධිපතිවරණයකින් නොවෙයි.ඒක වුණේ මෙහෙමයි,ජේ ආර් ජයවර්ධන මහතා 1977 දී ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයෙන් පස්සෙ 1978 දි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා.නව ව්‍යවස්ථාවට අනුව රටේ නායකයා විධායක බලතල සහිත ජනාධිපති වරයා නිසා අගමැති ජේ ආර් ජයවර්ධන විධායක බලතල සහිත අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ (ඒ දවස්වල කියන්න කියල තිබ්බේ එහෙමයි)වශයෙන් ජනාධිපති පුටුවෙ වාඩිවුනා.ඉතිං ඒ නිසා රටේ පැවැත්වුන පළවෙනි ජනාධිපතිවරණය පැවැත්වුනේ 1982 අවුරුද්දෙදියි.

ඔය ජනාධිපතිවරණයට එදා තරඟ කළ හයදෙනා  අතරින් අද ජීවතුන් අතර ඉන්නෙ වාසුදේව නානායක්කාර මහතා පමණයි.මෙදා සැරේ නං දැනටම දහඅට දෙනෙක්ද කොහෙද ඇප තියල තියෙනව කියල මම දැක්කා, අට වෙනිදා වෙද්දී කී දෙනෙක් වේවිද දන්නෙ නෑ.කොහොම උනත් මෙදා සැරේ ඡන්ද කොළේ අර ඉස්සර අපේ ගෙවල්වල වී තම්බල වනාපු මාගල වගේ වේවි කියලනං මට බුදු ෂුවර් එකක් තියෙනවා.

ඉතිං ඔය ජනාධිපතිවරණය කාලෙදිත් මම රජයේ සේවෙ හිටියත් ඒ සැරේ මට ඡන්දපොළ රාජකාරි තිබුනෙ නෑ සහ රස්සාවට ගියපු අලුත නිසා ඒ ගැන එච්චර තේරුමකුත් තිබුනෙ නෑ.නමුත් ඒ ඡන්දෙදි ඡන්දපොලටම සම්බන්ධ වෙනම රාජකාරියක් මට පැවරිලා තිබුණා.ඒ කතාව මම වෙනම ලියන්නං.ඡන්දෙට යු ඇන් පී එකේ අපේක්ෂකයා වුණේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාමයි.ඡන්දෙට කලින්ම එතුමා තමන්ගෙ ප්‍රධානතම ප්‍රතිවාදියා වෙන්න හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ප්‍රජා අශක්නුතා කොමිසම කියල එකක් ගෙනත් මැතිණියගේ ප්‍රජා අයිතීන් අහෝසි කරල ඡන්ද බලය නැතිකරල ඡන්දෙට ඉල්ලන්න නුසුදුසු තත්ත්වයට පත්කරල දැම්මා.

ඒ හේතුවත් තවත් අභ්‍යන්තර හේතුනුත් මීළඟ ජනාධිපති ඡන්දෙට අපේක්ෂකයා විය යුත්තේ කවුරුද කියන ප්‍රශ්නයත් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුපුරලා දෙකඩ වුනා. ඒ අනුව දහ පහළොස් වතාවක් රාජ්‍ය නායකයා හැටියට වැඩ බලා ඇති පක්ෂයේ නියෝජ්‍ය නායක මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක මහතා අනුර බණ්ඩාරනායක මහතා සහ තවත් ඉදිරිපෙළ නායකයන් කීපදෙනෙක් සමග ශ්‍රී ල නි ප(මෛත්‍රී  පිල )පිහිටුවාගෙන පක්ෂයේ බලය අල්ලාගන්න සුදානම් වුනා.මැතිණිය,කොබ්බෑකඩුව මහතා,ටී බී ඉලංගරත්න මහතා,විජය කුමාරතුංගයන් ආදී අය ඊට විරුද්ධව සටනට පැමිණියා.

පක්ෂයේ බලය ඇල්ලීමේ සටන මහ සද්දෙන් පටන් ගත්තා.වහසි බස් රණ්ඩු ආදියෙන් නොඅඩු සටන පොලිසි උසාවි ආදී තැන්වලත් රඟ දැක්වුනා.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව මේ සටන දෙස සිනා මුහුණින් බලා සිටියා පමණක් නොවෙයි සටන වැඩි දියුණු කරගන්නට හැකි හැම උපකාරයක්ම කළා.අවසානයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ල නි ප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්වුන විට මෛත්‍රී පිල නොනිල වශයෙන් ජේ ආර් ජයවර්ධන මහතාට සහයෝගය දැක්වුවා.සහයෝගය දැක්වීමේ කූටප්‍රාප්තිය වුණේ 1983 පැවති කුප්‍රකට ජනමත විචාරනයේදී මෛත්‍රීපාල සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැගීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලකයෙක් ලෙස මඩු බැසීම සිදුවුනේ මෙන්න මේ ජනාධිපතිවරණ වකවානුවෙදීයි.මෛත්‍රීපාල සේනානායක මහතා පක්ෂය හැරගිය පසු කොබ්බෑකඩුව කණ්ඩායමට මෛත්‍රීපාල කෙනෙකුගේ අවශ්‍යතාව ඉතා තදින් දැනෙන්නට වුන විට එවකට මන්ත්‍රීවරයෙක්වත් නොව ආසන සංවිධායක වරයෙක් පමණක්ව සිටි පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන තරුණ දේශපාලකයා ඔවුන් විසින් වේදිකාවට නැංවුයේ මෛත්‍රීපාල සේනානායක නම් ජ්‍යෙෂ්ට දේශපාලනඥයාගේ අඩුව පිරවීමටයි.ඔවුන් විසින් ඒ දිනවල ප්‍රසිද්ධ කළ ජනාධිපතිවරණ රැළි පෝස්ටර් මට මතකයි.රැස්වීම අමතන කථිකයන්ගේ නම් පෙළ සඳහන් කර තිබුනේ,

හෙක්ටර් කොබ්බෑකඩුව 
ටී බී ඉලංගරත්න 
විජය කුමාරණතුංග 
මෛත්‍රීපාල සිරිසේන

ආදී වශයෙන් මෛත්‍රීපාල කියල ලොකුවට දාල සිරිසේන කෑල්ල කුඩාවට දානවා.

ඡන්ද පෝස්ටර් ගැන කියද්දි එම ජනාධිපතිවරණයටම තරඟ කළ අපේක්ෂකයෙක් වූ රෝහණ විජේවීර එක් වේදිකාවකදී උපහාසාත්මකව කළ කතාවක් මට මතකයි.

"මම නුවරඑළියේ රැස්වීමකට යද්දි පෝස්ටර් වගයක් දැක්ක,මේවැයි  තියෙන්නෙ ගාමිණි,මාලනී,ජෝ,ජේ ආර්,දෙනවක හාමිනේ කියල.මං බැලුව අලුත් චිත්‍රපටයක්වත් ඇවිල්ලද කියල, නෑ බලපුවම යු ඇන් පී රැස්වීමක්. ජයවර්ධන මහත්තය පහළට වැටිල තියෙන තරම කිව්වොත් දැන් ගාමිණි මාලනී නැතුව ඡන්ද රැස්වීමක්වත් තියාගන්න බැරුව තියෙන්නෙ."

1982 ජනාධිපතිවරණය ජයගත් ජේ ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපති ලෙස නැවත වරක් පත්වුණා.ඡන්දෙන් දවස් දෙක තුනකට පස්සෙ එක නිවාඩු දවසක මම ගෙදර ඉද්දි රොසලින් අපේ ගෙදර ආවා.රොසලින් කියල කිව්වෙ බී රෝඩ් එකේ තනියම ජීවත්වෙන වැඩිමහලු කාන්තාවක්.ඇයට තරමක් නුහුගුණේ තිබුණා.සතියකට දෙකකට සැරයක් අපේ ගෙදර,එතකොට මායක්කලගේ ගෙදර ඇවිත් දවස දෙක ඉඳල යනඑක ඇගේ සිරිතක්.රොසලින්ව බයිට් එකට ගන්න පුළුවන් නිසා ඇය යන එන එක ගැන අපේ අකමැත්තක් තිබුනෙත් නෑ.එදා මම කුස්සියට යද්දි රොසලින් අපේ අම්මත් එක්ක බර කතාවක්.

කාටද රොසලින් ඡන්දෙ දැම්මෙ?

මම රොසලින්ගෙන් ඇහුවා.

මම ඡන්දෙ දැම්මෙ යතුරට...

රොසලින් කියපුවම මම උඩගියා,යතුර කියන්නෙ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඡන්දය ඉල්ලපු ලකුණ.සාමාන්‍යයෙන් අපේ පළාත්වල සමසමාජ පක්ෂයට හෝ කොල්වින් ආර් ද සිල්වා මහතාට ඡන්ද පදනමක් නෑ.බොහෝ දෙනෙක් කොල්වින් ආර් ද සිල්වා මහතා හෝ ඔහුගෙ ලකුණ ගැන කිසි දෙයක් දන්නෙත් නෑ.එහෙම තියෙද්දී රොසලින් යතුරට ඡන්දෙ දැම්ම කියපුවම පුදුමයක් ඇතිවෙන එක සාධාරණයි.

මොකක් මොකක් රොසලින්,යතුර කාගෙද කියල දන්නවද?

මම ඕව දන්න එකක් නෑ මහත්තයො,මගෙ ගෙයි යතුර නැතිවෙලා ඒකවත් හම්බවෙයිද බලන්නයි මම යතුරට ඡන්දෙ දැම්මෙ...

රොසලින් එක්ක ඡන්දෙ ගැන කතා කරන්න ගිහිං උඹටත් අංගොඩ තමා නවතින්න වෙන්නෙ...

අපේ අම්ම කිව්වා,පැලෙන්න එන හිනාව තදකරගෙන මම කුස්සියෙන් එළියට බැස්සා.

ඉතිං ආයෙම අසුදෙකේ ඡන්දෙට ආවොත් ඔය ඡන්දෙදි අපේ ගමේ ඉස්කෝලෙ තිබ්බ ඡන්දපොළ අයිතිව තිබුන ග්‍රාමසේවක වුනේ බෝගහවත්තේ නිස්සංක රාළහාමි. දැන් නං ග්‍රාම නිලධාරී නොවැ.ඒ කාලෙ කිව්වෙ ග්‍රාම සේවක කියලයි.නිල නම එහෙම උනාට කවුරුවත් එහෙම කිව්වෙ නෑ ග්‍රාමසේවක රාළහාමි හරි රාළහාමි හරි කියල කටපුරා කිව්වා.ග්‍රාමසේවක කියපුවම මට කතාවක් මතක් උනා.ඔන්න දවසක් පොඩි පේමෙයි,ආනන්දයි ග්‍රාමසේවකගෙන් චරිත සහතිකයක් ගන්න ගියාලු.ඔෆිස් එක තිබුනෙත් ගෙදරමයි.ගෙදර බොහොම වස බල්ලෙක් ඉන්න නිසා මේ දෙන්න එකපාරට ගෙදරට නොගිහිං වැට ළඟ ඉඳන් හයියෙන් කතාකළා.

ග්‍රාමසේවක ඉන්නවද?

ම්ම්හ් සද්දක් නෑ.

ග්‍රාමසේවක ඉන්නවද දන්නෙ නෑ නේද?

මුන් දෙන්න හයියෙන් කතාකරනකොට ගේ ඇතුලෙ ඉඳන් ගෑනුකෙනෙක් ඉස්සරහට ඇවිත්...

මොකක්...

නෑ මේ ග්‍රාමසේවක ඉන්නවද කියල බැලුවෙ,චරිත සහතිකයක් ලියෝගන්න...

චරිත සහතික ඉල්ලන්න කලින් කතාකරන්න ඉගෙනගෙන වරෙව්,කතා කරන්න දන්නෙ නැති අවලම්මු,තව චරිත සහතිකත් ඉල්ලන්න එනවා...

පුපුරා හැලුන ඒ ගෑනු කෙනා මුන් දෙන්නව එළවගෙන,එදා උන් දෙන්න රාළහාමි නොකිව්වෙ නොදන්න කමටද නැත්නං අර ගෑනු කෙනා කිව්වා වගේ අවලං කමටද කියල මම ඇහුවෙ නං නෑ.

ඔය මැතිවරණ රාජකාරිවලට යද්දි පත්වීම එන කොලේම උපදෙස්ද  සඳහන් වෙනවා.ඒ උපදෙස් අතර ඡන්ද පොළේදී කෑම බීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී වරයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද දක්වා තිබෙනවා,මෙන්න මේ විදියට...

උදෑසන ආහාර වේලක් සඳහා           රු........
දිවා/රාත්‍රී ආහාර වේලක් සඳහා         රු........
කිරි තේ එකක්                               රු........

කෑම බීම ගෙදරින් නොගෙනෙන ග්‍රාම නිලධාරී වරයාගෙන් කෑම ලබාගන්නා සියළුම නිලධාරීන්ගේ කෑම බිල කවුරු හෝ කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයෙක් විසින් සියලු දෙනාගෙන්ම එකතුකර ග්‍රාම නිලධාරියාට ලබා දෙනවා.ග්‍රාම නිලධාරින්ගේ ආහාර සැපයීමත් පුද්ගලයාගේ ආකල්පය අනුව වෙනස් වෙනවා.නගරබද ග්‍රාම නිලධාරියෙක් නම් අවශ්‍ය කෑම පාර්සල් ප්‍රමාණය ගණන් බලා හෝටලයකින් හෝ කෑම සැපයීම කරන කාන්තාවකට ඇණවුම ලබාදී හෝ සපයා දෙනවා.නමුත් ගම්බද ග්‍රාම නිලධාරීන් මීට වෙනස්. ඔවුන් රසට ආහාර පිසින කාන්තාවන් ලවා විශේෂයෙන් කෑම පිළියෙළ කරවනවා.මම ඉස්සෙල්ල කියපු අපේ ග්‍රාම සේවක නිස්සංක රාළහාමිත් ඒ විදියයි.අසුදෙකේ ඡන්දෙ වෙලාවෙ මම ඡන්ද පොළේ වෙනම රාජකාරියක් කළා කියල කිව්වනෙ.ඉතිං උදේට මගේ කෑම වේල ගෙදරින් ඒවා තිබුණා.කෑම ටික කන්න කෑම කාමරයට ගියාමයි ඡන්දෙට ආපු නිලධාරීන්ට නිස්සංක රාළහාමි කෑම සපයා තිබුන ආකාරය මම දැක්කෙ.මේස දෙකතුනක් එකට අල්ලල දිග මේසයක් හදල සුදු රෙදි එලල හරියට මඟුල් මේසයක් වගේ.ඒ මේසෙ නැති කෑමක් නෑ.එතන තියාගෙන මම ඉඳිආප්ප ටික කන්න ලෑස්ති වෙද්දි නිස්සංක රාළහාමි එතෙන්ට ඇවිත්...

මොකටද ගෙදරින් කෑම ගෙන්නගත්තෙ,මෙහෙ ඇතිවෙන්න කෑම ලෑස්තිකරල තියෙනවනෙ...

කියල කිව්වා,ඒ නිසාම මම දවල්ට කෑම ඒ මේසෙන්ම සප්පායම් වුණා.පස්සෙ කාලෙකදි ඡන්ද රාජකාරිවලට ගියාම  ග්‍රාම නිලධාරියා දෙන මෙලෝ යකෙකුට කන්න බැරි නීරස කෑම පාර්සලේ කනකොට නිස්සංක රාළහාමිගේ කෑම මේසෙ මට මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි.

කන්න කෑම තියා බොන්න ඇල්වතුර ටිකක් වත් නොලැබුන ඡන්දත් අපි කරලා තියෙනවා.ඒ අසූ ගණන්වල මුල්ම පළාත් සභා ඡන්දෙ,ජේ වී පිය මුල ඉඳන්ම ඔය ඡන්දෙට කචල් දැම්මා.මුලින්ම ඡන්දෙ දාන්න එන එකාට මරණය ආදී වශයෙන් පෝස්ටර් හිටං ගහල තියෙද්දී ඡන්ද රාජකාරිවලට නම් කරපු නිලධාරීන් අසනීපයි කියල මග අරිද්දි තරුණ රාජ්‍ය සේවකයො වෙච්ච අපි අභියෝගෙ බාරගන්නත් එක්ක ඡන්දෙට ගියා. ඒක ඡන්දයක් නෙවෙයි යුද්දයක්.

දැන් නං පෝස්ටුව ලිව්ව ඇති ඇති කියල හිතෙනවා.ඡන්දෙට ගිහිං යුද්දයක් කරපු හැටි ඊළඟ සැරේ ලියන්නං.මේ ටිකේ මොන මොනා හරි ලියන්නත් එපායැ නැත්නං බොලා ලියපිය ලියපිය කියල තර්ජනේ කරනවනෙ.ඉතිං අදට මේ ඇති නේද ෴