Monday, December 26, 2016

සිහිල් සුළං රැල්ල, අප්සරා හෝටලය, රංජිගේ රේස් බුකිය සහ කොච්චියාගේ නත්තල් සාදය.


අවුරුද්දේ අවසන් මාසයේ අවසන් දින කීපයද වේගයෙන් ගෙවීයමින් පවතී.    වැලිකතරේ මේ දිනවල සීතල නොඅඩුව ඇතත් ලංකාවේ මෙන් සිත කිතිකවමින් ගත දැවටෙන සිහිල් සුළං රැළි පහස නොලැබීම දනවන්නේ අඩුවකි.     අපේ රටේ නම් දෙසැම්බරයේදී  ගත දැවටෙන සිහිල් සුළං මා අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගෙනගොස්  අත හරින්නේ හරි අපූරු තැනකය.   එනම් රාගම නිව් ජෙම් සිනමාහල ඉදිරිපිට පාරේ ඇති කන්ද උඩටය.     ඉස්පිරිතාලයේ වැඩ ඇරී එන අපි එතන පාර අයිනේ ඇති අප්සරා හෝටලයෙන් එළවළු රොටී කා තේ බීම නොවරදවාම කරන කටයුත්තකි.   කඩෙන් කා බී එළියට එන අපි කන්ද බැසගෙන රාගම දුම්රියපොළට පියමනින්නේ හවස පහයි හතළිහේ කෝච්චිය අල්ලා ගන්නටය.   නත්තලේ පවන් රැළි ගත දැවටෙන්නේ  ඒ වෙලාවටය.    අපි කියා කිව්වේ මමත්,ගුණේත්,චන්දරේත්,ඩේවිඩ්,සරත් හා විජේසිරිටත්ය.    අපිත් එක්ක කඩවල රස්තියාදු ගහන්නට කැමැත්තක් නොමැති කෙල්ලන් දෙතුන් දෙනා කළින් කෝච්චියේ ගෙදර යන්නට යති.    රාගම ටවුමේ එදත් අදත් තේ කඩවලට පසුව වැඩියම ඇත්තේ රේස් බුකි බව මගේ විශ්වාසයයි.   ඒ කාලයේ රේස් බුකි වූ තැන් අද රේස් බයි රේස් පොළවල්ය.   ඉස්පිරිතාලේ අපිත් එක්ක වැඩකරපු සොයිසාගේ අයියාත් රේස් බුකියක් කළේ රාගම දැන් තියෙන ගුවන් පාලම පටන් ගන්නා තැනට පොඩ්ඩක් එහායින් පාර අයිනේය.   ඒ කාලේ ගුවන් පාලමක් හදන්නට හිතලාවත් නැති නිසා නිතරම වැහෙන රේල් ගේට්ටුවට හසුවන වාහන පෝලිම මේ පැත්තෙන් පල්ලිය හරියටද ඒ පැත්තෙන් රාගම ඉස්පිරිතාලය හරියටද දික්වී තිබීම සාමාන්‍ය දෙයකි.    කෝච්චියට වෙලාව ලංවන තුරු අපි සොයිසාගේ අයියගේ රේස් බුකියට වී කාලය ගතකරමු.     අද ලංකාවේ රේස් ව්‍යාපාරය සුමතිපාල මුදලාලි ගේ ස්පෝටින් ස්ටාර් තනි සම්බුද්දියට අයිති කරගෙන තිබුණත් ඒ කාලයේ ස්පෝටින් ටයිම්ස් කියාද රේස් ව්‍යාපාරයක් ස්පෝටින් ස්ටාර් සමග තරඟයට කරගෙන ගියා මට මතකය.

සොයිසා ගේ අයියාගේ බුකියද ස්පෝටින් ස්ටාර් බුකියකි.    ඌ උදේට දිනුම් තියෙන ටික දෙනාට දිනපු මුදල් ලබාදී රේස් කොලය කියවමින් වැඩ පටන් ගනී.    ඕලෝන් දාන්නට රේස් සුදු කාරයින් එන්නේ හවසටය.   සොයිසාගේ අයියා ළඟ මාස ගාණක රේස් පත්තර එකතුවක් තිබේ.  ඌ ඒ සියල්ලම දිග ඇරගෙන එදාට දුවන අස්සයන්ගේ පැටිකිරිය හොයන්නට පටන් ගනී.    ඔහු රේස් දුවන අස්සයන්ගේ දෙමාපියන්, අස්සයා කලින් දිනු රේස් ගණන, එවෙලේ නැග්ග ජොකියා, එදා අස්සයා පිට පටවා තිබු බර, මෙදා නගින ජොකියා කවුරුන්ද යන්න ආදී වශයෙන් මෙකි නොකී දේවල් සියල්ලම සළකා බලා  හවසට ඕලෝන් චිට් එක දමන්නට අස්සයන් කීප දෙනෙක් තෝරා ගනී.    කොපමණ නිමිති බලා අස්සයන් තෝරාගෙන ඔට්ටුව දැම්මත් පහුවදාට උන් ඔක්කොම නෝ වෙයාර්ය.    දිනා ඇත්තේ හිතුවෙවත් නැති අහක හිටපු අප්සෙට් අස්සයන්ය මුන් දිනයි කියා මම නිකමට වගේ කියන අස්සයන්ට ඌ සවුත්තුවට හිනාවුනත් පහුවදා බැලුකොට දිනා ඇත්තේ ඒ අස්සයන්ය.    බුකියට ඕලෝන් චිට් දාන්නට සෙනග ඇදෙන හැන්දෑ වරුවේ සොයිසාගේ අයියාට වැඩ වැඩිවේ.    ඒ වෙලාවට ඔහු බුකියෙ ඉන්නා අපිවද වැඩට අල්ලාගනී.    එන අයට ඕලෝන් චිට් ලිවීම අපට පවරා ඌ මුදල් ගණුදෙනු පටන්ගනී.

" රංජි පුතේ මෙන්න මේ අස්සයෝ තුන්දෙනාට දහයක් ගහපං!"

කවුරුන් හෝ වයසක මනුස්සයෙක් කොළේ ලකුනුකල අස්සයන් පෙන්නමින් රංජිට කියයි.

" ඔය චිට් එක මෙන්න මෙයාට කියල ලියෝගෙන වරෙන්කො රෝගුස් මාමෙ!"

රංජි මාව පෙන්වයි, ඔන්න ඔය ආකාරයට චිට් ලිවීම පටන්ගත් මට කිසි කරදරයක් නැතිව විවිධාකාර  චිට් වර්ග ලිවීමේ පරිචය ටික දිනකින්ම ලැබුණේ රංජියාගේ මග පෙන්වීමෙනි.    වින් පමණක් ඇති චිට්ද, වින් ඇන්ඩ් ප්ලේස් දෙකටම මුදල් යොදනා චිට්ද, ඩී.ටී.ඩබ්ලිව්.ඕ හෙවත් ඩබල් ට්‍රිබල් වින් ඔන්ලි චිට්ද ආදී වශයෙන් බුකියෙ භාවිතාවන විවිධ චිට් වර්ග ලිවීම මට විනෝදයක් විය.   එහෙත් ඒ වනතුරුම රේස් කොළය කියවන්නට ඉගෙන ගෙන නොසිටියෙමි.        වැලිසර ළය රෝහලේ නේවාසිකව ඉන්නා රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ගේ පහසුව පිණිස සොයිසා ජංගම බුකියක් ආරම්භ කළේ ඔය කාලයේදීය.   උදේට අයියාගේ බුකියෙන් ගන්නා රේස් පත්තර ටික වාට්ටුවල ඉන්නා රේස් අන්තුවන්ට බෙදාදෙන සොයිසා හවසට චිට්ද මුදල්ද එකතුකරගෙන රාගමට ගොස් බුකියට බාරදෙයි.    මෙතැන් සිට පෙනී පෙනීම වෙනත් පැත්තකට හැරෙන්නට සිදුවන්නේ තවත් රසවත් කතාවක් කියන්නටය.    එය වනාහි අපේ හිතවත් කොච්චියාගේ නත්තල් සාදයේ විස්තරයයි.    මා පුරාගෙන ආ කතාවේ ඉතිරිය තවත් දවසක කියන්නට තබාගෙන දැන් නත්තල් සාදයේ කතාව පටන්ගනිමි.

අපි අන්තිමට කොච්චියාගේ නිවසට ගියේ කොච්චි හාමිනේගේ උපන්දින උත්සවයටය ඒ ඔක්තෝබර් මාසයේය.    ඊට පසුව ගෙදර ඇවිත්ද සෙට් වෙමුය කියා දහ  වතාවකට වඩා කොච්චියා මට ආරාධනා කළත් මාහට තිබු වැඩ කටයුතු හේතුවෙන් ආරාධනා පිළිගන්නට නොහැකි විය.   ඒ සම්බන්ධයෙන් කොච්චියා නෝක්කාඩු කියමින් සිටි අතර නත්තල් පාටියට නම් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය කියා කළින්ම කියා සිටියේය.    වැඩිදුරටත් ඔහු කොච්චි හාමිනේටද කියා තර්ජනාත්මක ආරාධනාවක්ද ඉදිරිපත් කළේය.    වාසනාවකට මෙන් දවල් දවසේ කොච්චර වැඩ තිබුණත් නත්තල් රාත්‍රියේ වැඩ කිසිවක් නොතිබුණෙන් කරදරයක්  නැතුවම කොච්චියාගේ නිවසට යන්නට ලැබීම මට මෙන්ම හැලපිටද සතුටක් විය.   නත්තලට අවශ්‍ය කලහලමනා කොච්චියා එකතු කරන්නට ගත්තේ ඊට දින ගණනාවකට පෙර සිටය.     අප දෙදෙනාට අමතරව කොච්චි යුවළගේ ආරාධනය ලබා තවත් හත්අට දෙනෙක්ම නිවසට පැමිණ සිටියහ.   සාදයට ආ පොඩි උන් දෙන්නා අපට හුරතල් රසය නොඅඩුවම සැපයුහ.   පැමිණි අයගේ බඩකට පමණක් නොව ඇසද පිනවන්නට කොච්චි හාමිනේ සහ ඇයගේ සහායිකාවන් දෙතුන් දෙනා සාර්ථක උත්සාහයක් දරා තිබුණි.   මා කියනවාට වඩා ඒවා ඔබටම දැක බලාගන්නට මෙතැන් සිට සාදයේ පිංතුර ටික ඉදිරිපත් කරමි.    සාදය පටන් ගත්තේ ඩෙට් කේක් හා අයිසිං තැවරූ ෆෘට් කේක් සමග ෆෘට් කොක්ටේලයකිනි.
ඉන්පසුව කන්නට දුන්නෙ හැම් සමග බැටළුමස් මිශ්‍රකර ඇතුළට දමා සාදා තිබු මෆින්ය.   පෘට් කොක්ටේලයට එහායින් ඇත්තේ ක්රේන්බෙරි යුෂ,ඉඟුරු යුෂ සමග ලෙමන් යුෂ සහ ස්ට්‍රෝබෙරි යුෂට බොම්බේ සෆාරි ඩ්‍රයිජින් මුසුකර සෑදු විශේෂ කොක්ටේලයයි.   එයනම් මිහිරිම පානයකි කික් එකද අඩුවක් නොමැතිව හොඳින් තිබුණි.     ටිකක් වෙලා කොක්ටේල් පානය කළ පසු හයි කොමිෂනර් බෝතලයක්ද ලැබුණේ තවත් වැඩිපුර කික් එකක් අවශ්‍ය අයටය.   කොච්චියා කොක්ටේල් වීදුරු තුන හතරක් ළඟ ළඟ නවාගත්තේ එහි ඇති මිහිරි රසය නිසාමය.   අප අතර ඇතිවූ කතාවට මුලික වුයේ බ්ලොග් ලිවීමේදී ඇතිවන ඩොමැස්ටික් සෙන්සර් ය.  කොච්චි හාමිනේත් හැලපිත් දෙදනාම ළඟ සිටි නිසා මේ කතාබහ බෙහෙවින් රසවත් වූ බවත් ගෑනුන් අපි දෙන්නාගේම රෙදි ගලවන්නට සමත්වූ බවත් කීවාට වරදක් නැත.   රාත්‍රී කෑම මේසයේ පළහන ලද ටර්කියෙක් සහ බැටළු ගාතයක් තිබුණේ ප්‍රෝන් රයිස් සමග කන්නටය.තව තවත් ජාති බොහොමයක් තිබුණත් විස්තර කරන්නට නොයන්නේ පිංතුර වලින් බලාගත හැකි බැවිනි.
මේ පින්තුරය පසුබිමේ සිටින්නේ කොච්චියා ය.
තවත් පිංතුර බොහොමයක් ඇතත් ඒවායේ අප පෙනී සිටින බැවින් පළ නොකරන්නේ කොච්චියාගේ ඉල්ලීම පරිදිය.   රාත්‍රී ආහාරය ගෙන ගෙදර ආ බව මට මතක තිබුණත් කොච්චියා උදේ කතාකර මගෙන් ඇහුවේ හොඳින් ගෙදරට ළඟාවූනාද කියලාය.   මධ්‍යම රාත්‍රිය ලඟාවන විට කොච්චියාගේ ගෙදර පහළ පාමසියේ ඉන්නා ඩොක්ටෝර් හෙවත් ජානි බායි සාදයට පැමිණියේය.   ඔහුටද කොක්ටේල් පානය බොහෝ රසවත් වූ බව පෙනුණි.    ඉතිං කොච්චියාගේ නත්තල් සාදයේ තොරතුරු දැනට ඔපමණය.    තව විස්තර අවශ්‍යනම් ලබන අවුරුද්දේ පමණ සලකා බලන්නට පුළුවන.    එතෙක් උදාවුණු නත්තල සහ උදාවෙන 2017 නව වසර ඔබ සියලු දෙනාටම දුකෙන් තොර සැපෙන් බර සියලු පැතුම් ඉටුවන වැඩි වැඩියෙන් බ්ලොග් ලියැවෙන බ්ලොග් වලි අඩුවන සුබම සුබ නව වසරක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා වන මමද හැලපිය සහ හැල පැට්ටාත්ය෴

Monday, December 19, 2016

මල්බර රෝහල, පෙට්ටි කඩ සහ සංවර්ධන ව්‍යාපෘතිය.

අද ලියන්නට යන්නේත් මීට කලින් ලියු කතාවටම යම් ආකාරයකින් හෝ සම්බන්ධයක් ඇති   එනම් වැලිසර ළය රෝහල ගැනම කතාවකි.    එදා ලීවේ චිත්‍රාගේ කොටු පැනිල්ල ගැනය, ඒ කතාව ලිවීමෙන් පසු බොහෝ කාර්ය බහුල වීම හේතුවෙන් කමෙන්ට් වලට උත්තර බඳින්නට පවා කාලයක් නැතිවිය.    අද මෙය ලියන්නට ඉඩවරයක් ලැබුණේ මහන්සිය නිසා හෝ මේ දිනවල පවතින ශීත කාලගුණය නිසා හෝ අසනීපව ගෙදරට වී සිටින්නට ලැබීම නිසාය.    ළය රෝහලට මා මෙතරම්ම ඇලුම් කරන්නේ මන්දැයි විටෙක මා මගෙන්ම අසා ගන්නා ප්‍රශ්නයකි.    මන්දයත් ඊට වඩා සුවපහසු ස්ථාන බොහොමයක මා සේවය කර ඇතත් ටී බී හෙවත් ක්‍ෂය රෝගය නම් බෝවන රෝගයට රටේ තිබු ලොකුම රෝහලේ සේවය කළ කාලයට මා ඉතා ආදරය කරන්නේ මගේ තරුණ දිවිය ඒ රෝහලේ ගෙවීගිය නිසාදෝ යැයි විටෙක මට සිතේ.    මගේ තරුණ වියේ අමතක කළ නොහැකි මතකයන් රැසක් ළය රෝහල හා බැඳී  පවතින අතරම එකල වැලිසර ළය රෝහලේ පරිසරයද ඉතාම අලංකාර  එකක් විය.    අක්කර පනස් ගණනක් වූ රෝහල් වත්ත පුරාම විවිධාකාර ගස්වැල් වවා තිබුණි. 

විටෙක මැයිගස්,රොබරෝසියා,කනේරු ඈ තව තවත් නම් නොදත් විවිධාකාර ගස්වල  මලින් සැරසෙන රෝහල් භූමිය සිහින ලොවක් බඳු විය.    මේ කාලයේ දී රෝහල් භූමියේ පිහිටා ඇති එන් ටී එස් හෙවත් හෙද පුහුණු පාඨශාලාවේ නේවාසිකව ඉගෙන ගන්නා තරුණියන් රෝහල් භූමියේ අලංකාරයෙන් මුසපත්වී  කවිද නිසඳැස්ද ලියන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි.

සමහරුන් නම් නොදත් මල්ගස්වල නම් අපෙන් ඇසුවිට ඒ හැම එකටම අප දෙන පොදු පිළිතුරක් වුයේ ඒ කිටරම්බා ගසක් කියාය.   ටිකක් වෙලා ගෙන වචනයේ තේරුම වටහාගන්නා ඔවුන් බොහෝවිට අප සමගම සිනහසෙමින් එය රසවිඳිති.    දකුණු ආසියාකරයේ රටවල් බොහොමයක ව්‍යාප්ත වී තිබු ක්‍ෂය රෝගය බී සී ජී එන්නත සොයාගන්නට පෙර නියත වශයෙන්ම මාරාන්තික රෝගයක් විය.    ඒ හේතුවෙන්ම එකල ළය රෝහලේ වැඩකරන්නට සේවකයන් සොයාගැනීම රෝහල් පාලනයට විශාල ප්‍රශ්නයක් වී තිබු බව අසා ඇත්තෙමි.    එකළ රෝහල් පාලකයන් පාරේ යන අයට අප්පුඩි ගසා කතාකර රෝහලේ සේවයට බඳවාගෙන තිබුණි යැයි කතාවක්ද පැතිර තිබුණි.    වයෝවෘද්ධ උපස්ථායකයින් රෝහල් කොරිඩෝවේ ගමන් කරද්දී සමහරු අප්පුඩි ගසා සැඟවී බලා සිටියේ ඔවුන්ගේ කුණුහරුප අසාගන්නටය.    රෝගයට අවශ්‍ය ප්‍රතිකාර නොමඳව තිබු සහ රෝගය ඉතා හොඳින් පාලනය කර තිබු අප සේවය කළ වකවානුවේ පවා සතියකට මරණ තුන හතරක් වාර්තාවීම සාමාන්‍ය තත්වයක් වීම තුළ ප්‍රතිකාර නොමැති කාලයක මරණ කෙතරම් වී දැයි සිතාගත හැකිය.  

රෝගයට බිය වුවොත් රෝගය වැළඳීමේ ප්‍රවනතාව වැඩි බව අප අසා තිබුණා මෙන්ම අපව දැනුවත් කර තිබුනේද රෝගයට හෝ රෝගීන්ට බිය නොවී හොඳට බඩ පිරෙන්නට කෑම කා තම රාජකාරිය කරන ලෙසටය.    කෙසේ වුවද අපට රෝගයට බියවන්නට හේතුවක් හෝ වේලාවක් නොතිබූ අතර අසරණ රෝගීන් වෙනුවෙන් අපට කරන්නට තිබු රාජකාරි නොවලහා ඉටුකළෙමු.    රෝගීන් වෙනුවෙන් කළ කී දෑ වෙන් වශයෙන් කියා පෑම අනවශ්‍ය වුවත් රෝගීන්ට පිහිටවීම හේතුවෙන් සිතේ හටගත් ආශ්වාදය අදටද ජීවිතයට මහත් ආශීර්වාදයක් වී ඇතිබව මෙහිදී සටහන් කළ යුතුමය.    කෙසේ වුවද අද දවසේ මේ රෝගය කෙතරම් පාලනය කර ඇද්දැයි කිවහොත් දැන් ක්‍ෂය රෝගය යන නම පවා භාවිතයෙන් ඉවත්ව ඇත.   එකළ වෙන් වශයෙන් තිබු ළය රෝහල් දැන් සාමාන්‍ය රෝහල් බවට පත්වී  හැම රෝගයකටම ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය වී ඇත.    ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය ස්වසන රෝග මර්දන ව්‍යාපාරය බවට පත්වී ක්‍ෂය රෝගය ස්වසන රෝගයක් ලෙස ලඝුවී ඇත.

එකළ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය ඩීන්ස් පාරේ පිහිටා තිබුණු අතර ප්‍රධාන වශයෙන් ළය රෝහල් තුනක් විය.    ඒවා වැලිසර,කඳාන හෙවත් ආනියාකන්ද සහ කන්කසන්තුරේ පිහිටා තිබුණි.    ඊට අමතරව හැම දිස්ත්‍රික්කයකටම එක බැගින් ළය චිකිත්සාගාර  පිහිටුවා තිබු අතර ඒ ඒ දිස්ත්‍රික්කවල රෝහල්වලට සම්බන්ධව පිහිටුවා තිබු මේවායේ පරිපාලනය සිදුවුයේ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයෙනි.    මා මුලින්ම කොළඹ ළය චිකිත්සාගාරයේත් ඊළඟට වැලිසර ළය රෝහලේත් ඉන්පසුව ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේත් සේවය කර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ගියෙමි.   

අප වැලිසර ළය රෝහලේ සේවය කළ කාලයේ රෝහල අද තරම් නවීන හෙවත් පොෂ් එකක් නොවීය.    මුළු අක්කර පනස් ගණනක් පුරා තිබු රෝහල්වත්ත වටේ ගසා තිබු කටුකම්බි වැට හැමතැනින්ම කැඩී බිඳී තිබුණු අතර වැට අයිනේ පෝලිමට තේ කඩද පෙට්ටි කඩද  පැටව් ගසා තිබුණ අතර ඒවායේ ඉලක්ක පාරිභෝගිකයින් වුයේ රෝහලේ සිටින රෝගීන්ය.     සාමාන්‍ය රෝහලක දින කීපයකට නේවාසිකව සිටින රෝගීන් රෝහලෙන් දෙන කෑම වේල කෑමට නොගත්තත් වැලිසර ළය රෝහලේ නේවාසිකව සිටින රෝගීන් තුන් වේලම කෑමට ගත්තේ රෝහල් මුළුතැන් ගෙයින් ලබාදෙන ආහාරයය.    මුළුතැන් ගෙයි සේවය කරන අරක්කැමියන් රෝගීන්ට ලබාදෙන ආහාර වේල කෑමට ප්‍රිය ආකාරයට රසවත්ව පිසුවේ මාස හය හත හෝ අවුරුද්ද ප්‍රතිකාර ගනිමින් නේවාසිකව සිටින ලෙඩුන්ට සැමදිනම ගෙදරින් ආහාරපාන නොලැබෙන නිසාය.   

රෝගීන්ට උදේ ආහාරය වශයෙන් පාන් සමග පොල් සම්බෝල,පරිප්පු,කෙසෙල් ගෙඩි හෝ ජෑම් සහ බොන්නට කිරි තේ ලැබුණි.    දවල් දහයට පමණ නැවතත් කිරි වීදුරුවකි.    දවල් ආහාරය වශයෙන් එළවළු දෙකක්, මැල්ලුමක් මස්,මාළු, කරවල හෝ බිත්තර සමග බත් ලැබේ.    රාත්‍රි කෑම වේල  හවස පහට පමණ බෙදා දෙනු ලබන අතර රෝගීන් කැමති වෙලාවක එය ආහාරයට ගත හැක.    ඊට අමතරව ශරීරය දුර්වල තත්වයක පවතින රෝගීන්ට වෛද්‍ය නිර්දේශ අනුව විශේෂ කෑම බීම වර්ගද නොඅඩුව ලබාදෙනු ලැබේ.

රෝහලෙන් තුන් වේලටම රසවත් සහ පෝෂ්‍යදායක ආහාර රෝගීන්ට ලැබුණද අමතර රසකැවිල්ලක් තේ කෝප්පයක් හෝ දුම්වැටියක් මිළට ගැනීමට රෝගීන් ගියේ මේ පෙට්ටි කඩවලටය.     කඩවලට අමතරව පාන්,රෝස් පාන්, බනිස්, කිඹුල්ලු ආදී බේකරි නිෂ්පාදනද රෝල්ස් කට්ලට් ද ලෑතර සව්බර විස්කිරිඤඤ ආදී රසකැවිලිද බයිසිකලයේ බැඳගත් විශාල පෙට්ටියක පුරවාගෙන විකුණන්නට වාට්ටු ගානේ ආ සයිකල් කාරයෙක්ද විය.    ඊට අමතරව රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ට උදේ රේස් කොළය අතටම දී සවසට රේස් තුන්ඩු සහ මුදල් එකතු කර ගන්නා සොයිසාගේ ජංගම බුකිය රෝහලේ ක්‍රියාත්මක වූ තවත් සමාජ සත්කාරයකි.

වැලිසර නවලෝක ක්‍රීඩාංගනය යනුවෙන් නම්කර ඇති පිට්ටනියද එකල රෝහල් භූමියේම කොටසකි.    කඳාන,වැලිසර,ගල්උඩුපිට,නාගොඩ ආදී ගම්වල කොල්ලන්ට එල්ලේ ගහන්නට ද පිටින් කණ්ඩායම් ගෙන්වා එල්ලේ තරඟ පවත්වන්නටද තැනක් නැතිවූ කළ ඔවුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ එකල වත්තල මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගටය.   ප්‍රශ්නය ඉදිරිපත් කළ විගසම විසඳුම ජෝන් අමරතුංගගේ මුව අගමැ තිබුණි.   "ආ ගිහිං ඉස්පිරිතාල වත්තෙ බෝල ගහන්න! කිසි ප්‍රශ්නයක් නෑ!" කියා ඔහු කොල්ලන්ගෙන් ගැලවෙයි.     කොල්ලන් බෝල පිති අරගෙන ඉස්පිරිතාල වත්තට පැන්න විගස මුරකාරයන් කොල්ලන්ව එළවා දමයි.   සමහර විට කොල්ලන් මුරකාරයාට පාට් දාන්නේ ජෝන් අමරතුංගගේ හයිය අරගෙනය.   එවිට මුරකාරයා ඉස්පිරිතාලේ වැඩකරන නාහෙට නාහන කොල්ලන් හත් අට දෙනෙක් එක්ක ඇවිත් වත්ත ආක්‍රමණය කළවුන් ගහලා එලවයි මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යමින් තිබුණේ කිසිම විසඳුමක් නොමැතිවය.    රෝහලට අලුත් වෛද්‍ය අධිකාරී වරයෙක් පැමිණියේ මේ අතරවාරයේය.    මට මතක හැටියට ඔහුගේ නම පෙරිම්පනායගම් වූ අතර ඇවිත් තිබුණේ වැලිකඩ හිරගෙදර රෝහලේ සිටය.    ඉතා ක්‍රියාශීලී වෛද්‍ය අධිකාරී වරයෙක් වූ ඔහු පැමිණි දිනයේ සිටම රෝහලේ භෞතික සම්පත් වැඩි දියුණු කරන්නට මාර්ග සොයන්නට විය.    

රෝහල වෙනස් කරන්නට අවශ්‍ය වුවද එය සිතු තරමට පහසු කටයුත්තක් නොවීය.     ඒ තරමටම රෝහල පිරිහිලාය වාට්ටු අබලන්ය,ඇඳන් කැඩිලාය, මළපවාහන පද්ධතිය ලෙඩදෙයි, වැසිකිළි ජරාවාස වීලාය, කැඩුණු වැටෙන් හරක්ද එළුවන්ද වත්තට පැනලාය, හැමතැනම බලු කරදරේය.     මේවා සියල්ල යථා තත්වයට පත්කරන්නට අවශ්‍ය රුපියල් මිලියන ගණනක මුදල වියදම් කරන්නට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මුදල් ප්‍රතිපාදන නැත.    අලුත්වැඩියාව තබා රෝහලේ නඩත්තුව කරගෙන යන්නේද බොහොම අමාරුවෙනි.    දවස පුරා රෝගීන්ගේ කැත කුණු අතගාන සේවකයන්ට අත හෝදාගන්නට අවශ්‍ය සබන් ටිකවත් ඇතිවෙන්නට දෙන්නට දෙපාර්තමේන්තුවට හයියක් නැත.     කෙසේ වුවද අලුත් වෛද්‍ය අධිකාරී වරයාද තමන් හිතුදේ ලේසියෙන් අත් අරින ජාතියේ පුද්ගලයෙක් නොවීය.    ඔහු රෝහල් සංවර්ධන කමිටුවක් පිහිටුවා ප්‍රදේශයේ ඉන්නා දානපතියන් අල්ලා ගත්තේය.    ඒ මගින් පළාතේ මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගද ලංකර ගත්තේ වැඩක් නොකළත් කරන වැඩකට අකුල් හෙලන්නට මන්ත්‍රීවරයාට හැකි බැවිනි.   නවලෝක මුදලාලිගේ සභාපතිත්වයෙන් යුත් සංවර්ධන කමිටුව වාට්ටු පහළොව පිළිසකර කරන්නට කොම්පැණි පහළොවකට බාර දුන්නේය.    නවලෝක මුදලාලි මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන්වත් මේ වැඩේට එක්කරගෙන ආවේ වැඩේ තවත් ලස්සන  කරන්නටය.    එකළ සෞඛ්‍ය ඇමතිවරයා වු දොස්තර රංජිත් අතපත්තු ඔහුට හැකි පමණින් වැඩේට උදව් කළේ නිතරම රෝහලට යමින් එමින්ය.

වැඩේ දැන් හොඳට කෙරීගෙන යයි මේ අතරේම ජෝන් අමරතුංග මන්ත්‍රී වරයා බොරදියේ මාලුවෙක්ද බා ගත්තේය.   ඒ කුමක්ද කිව්වොත් ඔහුට කොල්ලන්ගෙන් හිසරදයක්  වී තිබු ක්‍රීඩා පිටියට ඉඩම් කොටසක් ඉස්පිරිතාල වත්තෙන් ඉල්ලා ගන්නට ඔහු සමත් විය.    ඒ ඉඩම් කෑල්ලේ නවලෝක ක්‍රීඩාංගනය හදාගත්තේ නවලෝක මුදලාලිගේ උදව්වෙනි.    රෝහල සංවර්ධන ව්‍යාපෘතියේ නිවේදක කටයුත්ත මට පැවරී තිබුණේ නිතරඟයෙනි.   හොඳ දේ කරනවිට හොඳක් වෙන බව ස්ථිර කරමින් මට මාදුළුවාවේ සෝබිත හිමියන් දැන හැඳින ගැනීමේ අවස්ථාව එයින් ලැබිණි.    උන්වහන්සේගේත් මගේත් හිතවත්කම සෝබිත හිමියන් අපවත්වෙන තෙක්ම අවුරුදු තිස් ගණනක් දිග දුරට ඇදුණි.    අවසන්වරට උන්වහන්සේගේ මුහුණ බලා දනක් පිළිගන්වන්නටද මට වාසනාව ලැබුණේ අපවත් වෙන්නට ටික දිනකට පෙර උන්වහන්සේ මෙරටටද වැඩිය බැවිනි.       

සෝබිත හාමුදුරුවන් ගැන කියනවිට මට මතක්වුණේ තව හාමුදුරු නමක් ගැන කතාවකි.     ඔය වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ වැඩ කෙරෙන කාලයේම ඉස්පිරිතාල ඉඩමේ තියෙන එන් ටී එස් එක ඉස්සරහපිට පාර අයිනේ තියෙන පොඩි රිසිවේසන් කෑල්ලට ආපු තරුණ හාමුදුරු නමක් ටකරං මඩුවක් පොඩියට හදාගෙන පොඩි බුදු පිළිමයකුත් තියාගෙන එතැන පදිංචි විය.    නගර සභාව ඇතුළු වගකිවයුතු කොටස් ඒ හාමුදුරුවන්ව එතැනින් අයින් කරන්නට හැදුවත් අයින් උනේ හාමුදුරුවෝ නොවේ.   කාලය ගතවී ගියේය හාමුදුරුවෝ කොච්චර දස්සයෙක්ද කිව්වොත් ඒ පොඩි ටකරං මඩුව අද මුලගන්ධකුටි විහාරය වී පළාතේම පිළිගත් පන්සලක් ලෙස දියුණුවෙන් දියුණුවට පත්වී ඇත.   පන්සල වටේ අලංකාර තාප්පයක්ද චෛත්‍යයක්ද බෝධියක්ද විශාල බුදුගෙයක් සහ අලංකාර ආවාස ගෙයක්ද සහිත මුලගන්ධකුටි විහාරය දැන් නිකම්ම විහාරයක් නොව පිරිවෙනකි.    හැබැයි පිරිවෙන ඇතුළු පන්සල පිහිටා ඇත්තේ වැලිසර ඉස්පිරිතාල වත්තේ බවත් කර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් කවුරුවත් කියන්නට ඉදිරිපත් නොවෙන්නේ හාමුදුරුවන් දැන් එපමණටම බලවත් නිසාය.   ඒ  හැමදා අල්පේච්ඡ ජීවිතයක් ගතකළ සෝබිත හාමුදුරුවන්ට වඩා බෙහෙවින් වෙනස් චරිතයකි.

දැන් නම් වැලිසර ළය රෝහලේ මුළු ඉඩම වටේම ලොකු තාප්පයක්ද හොඳ ගේට්ටුවක්ද ආරක්ෂක සේවාවක්ද ඇත.   2007 දවසක මම කඳානේ ගෙදරකට ගියේ රට ඉඳන් එනකොට යාලුවෙක් දුන්න පාර්සලයක් ඒ ගෙදරට ගිහිං දෙන්නටය.   ඒ වැඩේ ඉවරකර මම ඉස්පිරිතාලෙටත් ගොඩ උනෙමි.    නමුත් මම දන්න අය හිටියේ දෙන්නෙකි එක්කෙනෙක් රෝහලේ සෙකට්‍රිය.    ඔහු මාව ආදරයෙන් පිළිගෙන විස්තර කතාකළේය.   කාලයකට ඉස්සර  මම කරපු වැඩ නිසා මාව දිරවන්නේ නැතුව සිටි ඔහු මා හැඳල ලාදුරු රෝහලට මාරුකළේය.   පරණ තරහ හිතේ තියාගෙන නොසිටි නිසා මමත් හොඳට කතාකළෙමි.   අපි දෙන්නාගේ පිළිසඳර අවසාන වුණේ මහබාගේ හන්දියේ බාර් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකකිනි෴

Thursday, November 24, 2016

මඟුල්පොකුණ හංදිය, අඩි විස්ස පාර, චිත්‍රාගේ හුටපටය,සහ මැටිල්ඩක්කගේ තේ කඩේ.


අපි වැලිසර ඉස්පිරිතාලෙ රස්සාවට ගිය අලුත රාගම ඉස්ටේසමෙන් බැස බස් එකේ ගියොත් ඇලෙහිවත්ත හරියේ වංගුව ළඟ තියෙන පොඩි ගේට්ටුවෙන් ඉස්පිරිතාලෙට ඇතුල් වූයෙමු.    දැන් මගේ මතකයේ හැටියට එතැන නිවාස යෝජනා ක්‍රමයක් තිබුණත් එකළ ඇලෙහිවත්ත නිරන්තර දිය සීරාවෙන් හෙබි හිස් බිමකි.     පසු කාලයකදී එතනට පාරෙන් එහා පැත්තේ වැලිසර ඩිපෝවද ඉදිවිය.    ඊලඟ වංගුවේ තියෙන වැලිසර නාවික හමුදා කඳවුර නම් ඒ කාලයේත් තිබුණි.      කෝච්චියෙන් බැස පයින් එන දවස්වලට එකල මඟුල්පොකුණ හංදිය යයිද දැන් නවලෝක හංදිය යයිද කියන හංදියෙන් දකුණට හැරී අඩිවිස්ස පාරේ ගොස් ඉස්පිරිතාල වත්තට ඇතුල් වූයෙමු.     හැරුණු ගමන්ම දකුණට තිබුණේ මඟුල්පොකුණ පාරය.    දැන් ඒ පළාතේ පදිංචි කාරයෙක් වී සිටින අටමා ඒ කාලේ ඉපදිලා හිටියේවත් නැත.    අඩිවිස්ස පාරට හැරුණු ගමන්ම නගින්නට තියෙන්නේ කන්දකි පසුකලෙක නවලෝක පොලිසැක්ස් ආයතනය ඉදිවුයේ ඔන්න ඔය කියන කන්ද උඩ තිබුණු හිස් බිම් කඩෙකය.     ඒ ඉඩමේ මැටිවලින් තනා ටකරං හෙවිල්ලා තිබුණ එකම එක ගෙයි පදිංචිවී සිටිය පවුලේ යොවුන් වියට පා තබමින් සිටි පිනිබර මලක් වන් සුන්දර පාසල් දැරියක් හිටියා හොඳින්ම මතකයේ ඇත.  කන්ද නැග ඉදිරියට යන්නට පෙර නවලෝක පොලිසැක්ස් ආයතනය හැදුණු හැටිත් කෙටියෙන් වුවද කිවයුතුය. 

නවලෝක මුදලාලි මුලින්ම ඔය ඉඩම පාවිච්චි කළේ රටින් ගෙන එන කෙම්පස් ලී බාන්නට සහ ගොඩගසා තබා ගන්නටය.    ඒ පෑලියගොඩ ඉඩ නැති නිසා විය හැකිය.   ලී ගොඩගසා තිබෙන ඉඩම ටිකෙන් ටික එළිවන්නට විය.    ඉන්පසු කැටපිලර් ආදී බර වාහන ඇවිත් පස් කපමින් ඉඩම සමතලා කරන්නට විය.     ටිකෙන් ටික පස් කපමින් ආ බර වාහන අර දැරිය පදිංචි වී සිටි ගේ කිට්ටුවටම දැන් ඇවිල්ලාය.    ඒත් ඒ පවුල තාම ගෙයින් ඉවත්වී නැත.    අපිත් බලාගෙන හිටියේ ගෙට මොනවා කරයිද කියලාය.    ඒ වුණත් බර වාහන   ගේ ඉතුරුවෙද්දී වටේම පස්  කප කපා ඉවතට ගෙන ගියාට පසු ඒ පොඩි ගේ කණුවක් උඩ තියෙන්නාක් මෙන් දිස්වන්නට විය.    අපි හැමදාම උදේට මේ පස් කපන සෙල්ලම බලමින් ගෙට මොනවා වේදැයි සිතමින් සිටියෙමු.    එක සති අන්ත නිවාඩුවකට පසු දවසක් වැඩට එද්දී ගේ තිබුණු තැනක්වත් හොයාගන්නට තිබුණේ නැත.  ගෙයි හිටපු උදවිය ආගිය අතක්ද නැත මොන ක්‍රමයකින් හෝ ඔවුන් ඉවත් වන්නට කැමති වෙන්නට ඇති බව අපි සිතුවෙමු.     බිම සමතලා කරගත් පසු ඉක්මනින්ම ගොඩනැගිලි ඉදිවන්නට විය.    නවලෝක පොලිසැක්ස් නම් ආයතනය පටන් ගත්තේ ඒ ගොඩනැගිලි වලය ඒ සමගම මඟුල්පොකුණ හංදිය නවලෝක හංදිය නමින් බවුතීස්ම විය.

ඉතිං ඔය කන්ද නැගගෙන අඩි විස්ස පාරේ ඉදිරියටම යනවිට ඉස්පිරිතාල වත්ත හමුවේ.    වත්තේ ඉස්සෙල්ලාම තියෙන්නේ අහළ පහළ කවුරුත් සක්කිළි ක්වාටස් යැයි හැඳින්වූ රෝහලේ සනීපාරක්‍ෂක කම්කරු නිවාස පේළියයි.     ඒ නිවාස පේළිය පිහිටා තිබුණේ මයිකල් ඉස්කෝලෙ මහත්තයගෙ කඩේ ඉදිරිපිටය.      ඒ නිවාසවල පදිංචිවී  හිටපු සනීපාරක්‍ෂක කම්කරුවන් ඔක්කොම පාහේ ද්‍රවිඩ අයයි.     එහෙම කියද්දී මට කතාවක් මතක්වේ.    කතාව අපිත් එක්ක කිව්වේ මීගමුවේ තිඹිරිගස්කටුවේ සිට රෝහලේ වැඩට ආපු බැසිල්ය.   ඔය ද්‍රවිඩ අය හිටපු ක්වාටස්වල පළවෙනි ගෙදර පදිංචිවෙලා හිටියේ චිත්‍රා කියන මහ නැඩ මනුස්සයාය.     දැලි රැවුලක් වවා ගත් කළු උස මහත චිත්‍රා හරියටම වලහෙක් වගේය.     දවසේ වැඩ අහවරවී චිත්‍රා පවුලත් එක්ක සින්ඩා ගේ හොර පොට් එකට ගිහිං කාලක් හමාරක් බොන්නේ ඇඟ රත් වෙන්නටය.    කෙට්ටු කාන්තාවක් වූ චිත්‍රාගේ පවුලට චිත්‍රාටත් වඩා බොන්නට පුළුවන.    ඇය රස්සාව කරන්නේ නාගොඩ පොල්තෙල් මෝලේය.   හවසට අතේ මිට තියෙන පමණට බොන දෙන්නා ආපහු එන්නේ කච කච ගගා කියවමින් හරිම ලෙන්ගතු කමින්ය.     දවසක්දා මේ දෙන්නා පාර දිගේ එමින් ඉන්නේ මහා ගෝසාවක් නගමිනි.    කිට්ටු කර බැලු විට චිත්‍රාගේ පවුල ඌට දෙස් දොවොල් තියයි.    ඇය කැඩිච්ච සිංහලෙන්ද චතුර දෙමළෙන්ද චිත්‍රාට පලු යන්නට බැන වදියි.    චිත්‍රා වචනයක්වත් කතා නොකොට සද්ද නැතුව ගමන් කරයි.     ඒ දවස්වල මට දෙමළ වචනයක්වත් බැරි නිසා දෙමළෙන් කියපු දේවල් තේරුණේ නැතත් සිංහල භාෂාවෙන් කියපු දේවල් ලියන භාෂාවට නැගුවොත් මෙන්න මේ ආකාරයට කියැවේ.

"යකෝ තෝ නම් ජරා ශුක්‍රාණුවෙකි,  ශුක්‍රාණු සුනඛයෙකි.  කිසි දිනෙක මා තෝව මඟහැර බොන්නට ගොස් තිබේද සුනඛය?"

ආදී වශයෙන් ඇය චිත්‍රාට නොනවත්වා බැන වදී.    කාරණාව සොයා බැලු විට චිත්‍රා පවුලට කතා නොකොට සින්ඩා ගේ හොර පොලට බොන්නට ගොස් ඇත්තේ අත මිට හිඟකම නිසාමය.    කවුදෝ කට කැඩිච්ච පොඩි කොල්ලෙක් කේලම චිත්‍රාගේ පවුලට කියා ඇත.    ඇය ඒ මොහොතේම චිත්‍රා සොයා පිටත්වුන අතර ඌ සින්ඩා ගේ හොරපොලේදී ඇගේ අතටම මාට්ටු විය ගෝරිය ඇරඹුණේ ඉන් පසුවය.     

චිත්‍රාගේ ගෙට අල්ලපු ගෙයි ඉන්නා තිරුපති චිත්‍රාට හාත්පසින්ම වෙනස්වූ අහිංසක මනුස්සයෙකි.     බෝතල් අඩි රවුම් කන්නාඩි දෙක හිස පිටුපස ගැටගැසූ නුලකින් රඳවාගෙන සිටින  තිරුපතිගේ  කැහැටු සුදුමැලි ඇඟපත ද කුදු ගැසී යන ගමනද නිසා මට ඔහුව පෙනෙන්නේම මහත්මා ගාන්ධි තුමා මෙනි.    තිරුපති එහෙම උනාට උගේ පවුල හැඩකාරියකි.     උදෙන්ම නාගෙන කෙස් කළඹේ මල්වැල් ගසා වර්ණවත් සාරියක් හැඳ සාරිපොට ඉණේ පටලවාගෙන ගෙයි ඉදිරිපිට සේදු ඉස්තෝප්පුවේ කෝලම් අඳින ඇගේ රුව චිත්‍රාගේ නෙතට රසාංජනයක් ම විය.

චිත්‍රාගේ විදුලි කොටන බැලුම් වලට ඇය අකමැත්තක් නොදක්වන බවත් ඇය දෙස බලාසිටින විට පස්ස ගස්සා ගෙට රිංගනවා වෙනුවට චිත්‍රා දෙස කෝල බැලුම් හෙලන බවද ඌ තේරුම් ගත්තේය.     මෙසේ ආරම්භවූ මේ දෙපොළගේ ඇයි හොඳයිය ටිකින් ටික දුරදිග ගියේ දෙන්නාටම හොරාය.    දැන් හැමදාම උදෙන් වැඩට යන චිත්‍රා ඉක්මනට වැඩ ටික අහවර කර තිරුපතිව මගහැර ගෙදර එන්නේ සිය අලුත් පෙම්වතියට තුරුලුවී පෙම්බස් දොඩන්නටය තිරුපතිගේ පවුලද චිත්‍රා එනතුරු මග බලා සිටී.     චිත්‍රාගේ හැඩිදැඩි ආලිංගනය ඇයට මෙතෙක් නොවිඳි අමුතු සුවයක්ම විය.   මෙසේ ටික කලක් පෙම්සුව විඳිද්දී  වැඩේ පත්තු උනේ දෙදෙනාටම නොදැනීය.  දවසක්දා තිරුපති වැඩ ටික ඉවර කර කලින්ම ගෙදර ආවේ උදේට කන්නටය.    එනවිට ගෙයි ඉදිරි දොර වසා තිබු නිසා තිරුපති පිටුපස දොරෙන් ගෙට ඇතුල්වුනේය.     පවුලගේ සද්දක් නැත තව ටිකක් කන්දී බලනවිට කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇසුණු නිසා තීරුපති හීන් සීරුවේ කාමරයට එබිකම් කළේය.    පවුල කාමරයේ ඇඳේ සිටියේ තනිවම නොව චිත්‍රාද ඇඟ උඩ පටවාගෙනය.     චිත්‍රා යෝධයෙක් මෙන් තිරුපතිගේ පවුලව යට කරගෙන බර වැඩය.    තිරුපතිගේ පවුල දෑස් පියාගෙන සුසුම් හෙළමින් චිත්‍රාගේ උරයේ එල්ලී උගේ යෝධ අංගජාතයේ මිහිර විඳිමින් සිටියාය.   තිරුපති මේ සියල්ල බලාගෙන සිටිනු දෙදෙනාම නොදත්හ.

දැන් කුමක් කරන්නද?  චිත්‍රා ඉදිරියේ තිරුපති යෝධයෙක් ඉස්සරහට ගිය අඟුටුමිට්ටේකු සේය.   චිත්‍රා එක්ක ගෝරියට යන්නට තරම් හිතේ හයියක් ඌට නැත.     තිරුපතිව උඩින් විසිවී පාරට වැටෙන්නට චිත්‍රාගේ එක පා පහරක් සෑහේ.    ඒත් තමන්ගේ ගේ ඇතුළෙම දාගෙන තමන්ගේ බිරිඳට චිත්‍රා කරන මේ කුපාඩි වැඩේට කටවහගෙන ඉන්නටත් බැරි නිසා තිරුපති නල්ලාඩි, නල්ලාඩි කියමින් අප්පුඩි ගසන්නට වන.(නල්ලාඩි = නල්ල+අඩි =හොඳට ගහපං)   ගහ බැන ගැනීමක් රණ්ඩුවක් නැතුව තුන්දෙනා වැඩේ ගොඩින් බේරාගත්තත් සිද්ධිය ගෑණුන්ගේ කටින් කට පැතිර ගොස් රෝහලේ හැමදෙනාම දැනගැනීම නම් වලක්වන්නට බැරිවිය.   ඊට පස්සෙන් පහු සිද්ධිය චිත්‍රාටත් තිරුපතිටත් හිසරදයක් උනේ උන්ව දකින දකින තැන කොල්ලන් නල්ලාඩි කියමින් අප්පුඩි ගසන්නට වීම නිසාය.

සක්කිළි ක්වාටස් වලට පසු දිගටම තියෙන්නේ රෝහලේ එක් එක් අයගේ නිල නිවාසය.   රෝහල් වත්ත එතැනින් පටන්ගෙන මීගමු පාරතෙක් අක්කර පනස් ගණනක් පුරා විහිදෙයි.    වැට කැඩී කම්බි කණු ඉදිරී ඇති එච්චර විශාල වත්තක හැම තැනින්ම අඩි පාරවල් ඇතිවෙනු වලක්වන්නට බැරිය.   අඩි විස්ස පාරේ සියලු  දෙනාම පාහේ ගමන් ගියේ රෝහල් වත්ත මැදින් වැටී ඇති අඩි පාරවලිනි.    ඊට අමතරව අඩි විස්ස පාරේ දිගටම ඉදිවී තිබු කඩවල ප්‍රධාන ගනුදෙනුකරුවන්ද වුයේ රෝහලේ රෝගීන් හා සේවකයන්ය.   මයිකල් ඉස්කෝලෙ මහත්තයගෙ කඩේට අමතරව ඊට එහායින් තිබුණේ හියුබට් අයියගෙ සිල්ලර කඩේය.   සිල්ලර කඩයක් උනාට ඒ කඩේ උදේට ආප්ප,ඉඳිආප්ප ආදියද විකිණුනි.    අපි වැඩට යද්දී ආප්ප ඉඳිආප්ප අරගෙන ගියෙ ඒ කඩයෙනි.    ඊට ටිකක් එහායින් තිබුණේ මැටිල්ඩක්කා ගේ තේ කඩයයි.    විවාහ වෙන වයස පසුකරමින් සිටියද තාම තනිකඩව සිටි මැටිල්ඩක්කාට වැඩිමල් අයියෙක් ද බාල නංගියෙක්ද සිටි අතර අයියා රස්සාව කළේ මත්තුමගල ලක්ස්ප්‍රේ කිරිපිටි මෝලේය.   හැඩකාර නංගි පාසල් යන කෙල්ලෙකි අපි නිතරම පාහේ මැටිල්ඩක්කාගේ කඩේට තේ බොන්නට ගියේ වැඩියත්ම මැටිල්ඩක්කාගේ නංගිත් එක්ක කයිය ගහන්නටය.   තවත් රසවත් කතාවක් මට මතක්වේ.  හැමදාම උදේ හවස රෝහල් වත්ත මැදින් වැඩට යන එන මැටිල්ඩක්කගේ අයියා රෝහලේ මිසී කෙනෙක් එක්ක ඇයි හොඳයියක් ඇතිකර ගත්තේය.   එය කාටවත් දොසක් කියන්නට බැරි සාමාන්‍ය දෙයක් උනත් පොඩි ප්‍රශ්නයකට තිබුණේ දෙන්නාම විවාහකයින් වීමය෴

ප.ලි. කතාව දිගදුර යන බැවින් තව කොටසකට ගියොත් හොඳයි කියා සිතේ.මේ දිනවල ලියන්නට විවේකය බොහෝ අඩු බැවින් පෝස්ට් ප්‍රමාදවේ.  ඒ සම්බන්ධව සමාව භාජනයකට දමා දෙන ලෙස ඉල්ලා සිටිමි.

Thursday, November 10, 2016

හතර සහ උපන් දින සාදය.

අද ලියන්නේ කඩිනමට ලියැවෙන පෝස්ටුවකි.    කඩිනමට ලිවීමේ නිධාන කතාව මෙසේය.    මා කලිනුත් කියා ඇතිසේ කොච්චියා මට නිතරම කතා කරමින් යමක් නොලියන්නේ ඇයිදැයි ඇසීම සිරිතක් වශයෙන් කරයි.   පහුගිය සතියේ පමණ එලෙස කතාකළ කොච්චියාට මා කීවේ මේ දිනවල විවේකය බොහෝ අඩු බැවින්ද මා ලියන දේවලට ඩොමැස්ටික් සෙන්සර් තදින් ඇති බැවින්ද  ලිවීමට  හැකියාවක් නොමැති බවත් මේ මස එකොළොස් වැනිදාට යෙදෙන බ්ලොගයේ හතරවෙනි උපන් දිනට ඒ ගැන යමක් ලිවීමට සිතා සිටින බවත්ය.    මගේ කතාව ඇසූ කොච්චියා ප්‍රීතියෙන් පිනා ගියේ ලේ පෙරෙන මස් කුට්ටියක් දුටු ඇත්කඳ ලිහිණියෙකු සේය.    ප්‍රීතියෙන් ඉපිල යමින් ඔහු කීවේ මේ හතරවෙනි උපන්න දිනය නම් ඉහළින්ම සැමරිය යුතු මංගල කාරණයක් බවය.    උපන්දින වැනි දේවලට මා උත්සව නොපවත්වන බවත් මගෙ උපන් දවස පවා කිසිම උත්සවයකින් තොරව සාමාන්‍ය පරිදි ගෙවී යන බවත් මා කිවත් ඒ කතා පිළිගන්නට කොච්චියා කැමති වුණේ නැත.    සමරන්නට දෙයක් හොය හොයා සිටින ඔහුට උපන් දිනක් මඟුලක් හෝ අවමඟුලක් වුවද ප්‍රශනයක් නොවේ.   හැලප බ්ලොගයේ උපන් දිනයට  නොකරන දේවල් කුමකටදැයි ඇසු ඔහු උපන් දින කේක් ගෙඩියක්ද වෙනත් අවශ්‍ය කටගැස්ම ආදී කෑම බීමද පිළියෙළ කරගෙන රාත්‍රියේ සිය පවුල පිටින්ම අපේ ගෙදරට එන බව කීවේය.   ඊට අමතර වශයෙන් රාත්‍රී භෝජනයද සකස් කරගෙන එන්නට හැකි බව කියූ කොච්චියා අවශ්‍ය නම් වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් කීවේය.

මා මේ කතාව ගෙඩි පිටින්ම හැලපියට කීවෙමි.   කෑම හදන්නට කරදර වෙන්නට අවශ්‍ය නැති බවත් කොච්චියාගේ ප්‍රිය බිරිඳ කෑම උයාගෙන එන්නට සුදානම් බවත් හැලපිට කී විගස ඇය මගේ ඇඟට ගොඩවුනාය.    "ගෙදරට එන අමුත්තන්ට කෑම හදාගෙන එන්න කියන්න ඔයාට ලැජ්ජාවක් නැද්දැ? "යි ඇසු ඇය එන අයට කන්නට දෙන්න සුදුසු දෙයක් තමන්ට හදන්නට හැකි බව කීවාය.    හැලපිගේ නියෝගය අනුව අද දවල් කඩේට ගොස් කෑම බීම ජාති ගෙනැවිත් උයන්නටත් උදව් කල යුතු වන්නේ කොච්චියාට වගේ හිතුනු හිතුනු දේවල් හදාගන්නට පිරිවර අපට නැති නිසාය.    එහෙයින් කඩිනමට ලියැවෙන පෝස්ටුව මෙයින් අවසන් කරමි.     අද රාත්‍රියේ පැවැත්වෙන හැලපකඩේ උපන්දින සාදයේ විස්තර පින්තුරද සමග ඊළඟට ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.     නමුත් ඒ විස්තරය හෙට ලියාගන්නට හැකි තත්වයක සිටීදැයි සැක සහිත වන්නේ හෙට රාත්‍රියේද තවත් සගයෙකුගේ සමුගැනීමේ සාදයකට සහභාගී වෙන්නට ඇති බැවිනි.     අමාරුවෙන් හෝ අනිද්දා එනම් ඉරිදා වැඩට යා යුතුය.   සඳුදා ලංකාවේ පෝය නිවාඩුව නිසා පෝස්ට් පලකලාට වැඩක් නැති වන්නේ නිවාඩු දිනවල අපේ හිතවතුන්ගේ බ්ලොග් පැමිණීම  බෙහෙවින් අඩු අගයක් ගන්නා නිසාය.    එබැවින් පින්තුරද සහිත උපන්දින සාදයේ විස්තරය අඟහරුවාදා එනම් 15 වැනිදා බලාපොරොත්තු වන්න.   හොඳින් හිටියොත් කොච්චියාද ඒ ගැන විස්තරයක් ලියනු ඇත

Wednesday, October 19, 2016

දෙසතිය මතක- සංක්‍රාන්ති සමයේ සතුට,වතුර සංග්‍රහය, වත්තේගෙදර හාමුදුරුවන්ගේ දානය සහ මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය.

අමතර අංගජාතයකට  තබා ස්ථිර අංගජාතයටවත් සුළුදිය පහ කරනවා වැනි සිල්ලර වැඩක් ඇරෙන්නට  වෙන කිසිම වැදගත් වැඩක් ඒ දවස්වල තිබුණේ නැති නිසා ඉලෙක්ට්‍රික් අංගජාතය මට සතපහක වත් ප්‍රයෝජනයක් නැති තෑග්ගක් වුයෙන් දෙතුන් වතාවක් එය ක්‍රියාත්මක කර වැඩ කරන හැටි බලා ලාච්චුවේ දමා වසා තැබුවෙමි.     ඔය කාලයේ අපේ දෙසතිය බෙදාහැරීමේ අංශය ක්‍රියාත්මක උනේ මැලේ වීදියේ ඉස්සර අධ්‍යාපන අමාත්‍යංශය තිබු ගොඩනැගිලිවලින් එකක සිටය.    දෙපාර්තමේන්තුවේ ඉතිරි හරිය කොම්පඤ්ඤ වීදියේ රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක විය.     දෙපාර්තමේන්තුව කෑලි කෑලි වලට කැඩුණු හැටිත් ලස්සන කතාවකි.

මම ගිය කාලයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිහිටා තිබුණේ කොටුවේ ට්‍රාන්ස්වර්ක් මන්දිරයේය.    අප සියලු දෙනාම දන්න පරිදි එය ඉංග්‍රීසි පාලන සමයේදී සාදා ඇති අලංකාර ගොඩනැගිල්ලකි.   කොටුව දුම්රිය පොළේ සිට ඇවිදගෙන එන දුරය.     මේ අලංකාර ගොඩනැගිල්ලේ උඩ තට්ටුවලටත් පඩිපෙළටත් භාවිත කොට තිබුණේ ඉස්තරම් බුරුම තේක්ක ලීය.    ඒවා යකඩ කඳන් මෙන් සවි ශක්තිය ඇති ලී බව බැලු බැල්මටම පෙනුනේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එදා  දක්වාම පාවිච්චි වී ඇති ඒ ලීවල  කිසිම ඇද පලුද්දක් සොයා ගන්නට නොතිබුණු නිසාය.    ඉතින් මේ අලංකාර මන්දිරයේ පිහිටුවා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපි වැඩකළේ අසීමිත නිදහසකිනි.

මා සේවය කළේ පාලන අංශයේ වුවද විවේකයක් ලැබුණු හැමවිටම මා දිවගියේ දෙසතිය කර්තෘ මණ්ඩලයටය. ඒ ලිපි ලේඛනවලට සහ සාහිත්‍යයට එදා සිටම මගේ තිබු ආශාව නිසා වන්නට ඇත.    තවත් කතාවක් කිවහොත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අපේ අංශයේ සිටි සියලුම දෙනා පාහේ වඩාත් ආර්ථික වාසි ලැබෙන ස්ථානවලට මාරු ලබා ගත්තද මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා ගත්තේ දෙසතියත් රජයේ චිත්‍රපට අංශයත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු නිසාය.    දෙසතියේ අයද අමුත්තෙකු වුවද මාව ආදරයෙන් පිළිගත්තා මට මතකය.    ඒ කාලයේ දෙසතිය සංස්කාරක වරයා වුයේ ගාමිණි විජේතුංග වූ අතර වින්සන්ට් පෙරියප්පෙරුම නියෝජ්‍ය සංස්කාරකවරයා විය.    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා පිටු සැකසුම් ශිල්පියා වූ අතර ඔවුන්ගේ සහයට තවත් හතර පස් දෙනෙක් දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කොට තිබුණි. කියන්නට මඳක් මැලිවන කරුණක් වුවද නොකියා බැරි කාරණාවක් වන්නේ මා යද්දී පාලන අංශයත් දෙසතිය කර්තෘ මණ්ඩලයත් අතර තිබුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉතාම දුර්වල අඩියකට පත්ව තිබු වගය.    කෙසේ වුවද එය වෙනම කතාකළ යුතු කාරණයකි.

ඔය ආකාරයට වසර දෙකක් පමණ ගතවෙද්දී හෙණය වැදුණේ එක්වරටමය.     බොහෝ නිදහසකින්ද සතුටින්ද අප සේවය කල ස්ථානය අපට එක්වරම අහිමිවී ගියේය.   ඒ කතාව ද කාගේත් දැනගැනීම සඳහා ලියා තැබුවහොත් හොඳයි කියා මට සිතේ කතාව මෙහෙමය.     දවසක්දා ජනාධිපති ප්‍රේමදාස ගමනක් යද්දී ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ අලංකාරය දැක විස්තර සොයා බලා ඇත.     ඊට පසුව ඔහු නියෝග කර තිබුණේ ඉන්න අයට වහාම එම ගොඩනැගිල්ලෙන් ඉවත් වන්නට කියාය.    හේතුව වුයේ එතැන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීමට නියමිත වීමය.    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හා ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍යාංශයට හැකි ඉක්මනින් ඉවත් වන්නට ජනාධිපති කාර්යාලයෙන් නියෝග ලැබී තිබුණි.     යන්නට කීවාට කොයි වල යන්නටද?  කොයි වල යන්නටද කියන විට මට පරණ කතාවක් මතක්වේ.  

අසරණ සරණ හික්කඩුවේ ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ  එක් පෝය දිනක පිංකමකට වඩින විට වෙල් නියරක ඇනබාගෙන බිලී පිත්තක් වලකට දමාගෙන ඉන්නා කොලුවෙක් දැක " ඈ බොල කොලුවෝ අද  උතුම් පෝය දවසේ  මේ කරන පව්කාර වැඩේ නිසා තෝ කොයි වල යන්නටදැයි ඇසුසේක."     උත්තර දෙන්නට මොහොතක් වත් ප්‍රමාද නොවූ කොලුවා " අනේ හාමුදුරුවනේ මේ වලේ මාළු නැතිනම් එහා වලට යනවා" යි නොපැකිලව පිළිතුරු දුන්නේය.     කුඩා වුවද කොලුවාගේ මුඛරිකම ගැන ප්‍රසාදයට පත්වූ උන් වහන්සේ පසු කාලයක මේ කොලුවා පැවිදි කරවන ලදුව තොටගමුවේ ශ්‍රී රාහුල නමින් චිර ප්‍රසිද්ධ මහතෙර නමක් වූ වග මා කියවා ඇති කතාවක තිබුණා මතකය.     කතාව ලියන ලද්දේ මතකයෙන් බැවින් කතාවේ හෝ නම් ගම්වල අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කරනු ලබත්වා.  

යන්නට තැනක් සොයා ගන්නට බැරිව සතියක් පමණ ගතවිය.    දිනපතාම ජනාධිපති කාර්යාලයෙන් තර්ජානාත්මක විමසීම් ලැබෙන්නේ තාම ගියෙ නැද්දැයි අසමිනි.    දැන් කරන්නට දෙයක් නැත ඒ නිසාම අපට සිදුවුණේ ජනාධිපති ප්‍රේමදාසගේ සැට් එක ඇවිත් එලවා දමන්නට පෙර බඩුත් පොදිබැඳගෙන පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට අවතැන් වන්නටය.    අපි බඩු ටිකත් ලොරිවල පටවාගෙන ගිහිං රජයේ චිත්‍රපට අංශයේ ගස්යට වාඩිලා ගත්තෙමු.     දෙපාර්තමේන්තුව ස්ථාන මාරු කළ කාලය හෙවත් සංක්‍රාන්ති සමය අපට නම් එකම විනෝද සාගරයක් විය.     අපේ රාජකාරියට අයත් බඩු බාහිරාදිය එකලස් කර අලුත් තැනට ගෙනයන්නට දීමෙන් පසු බොහෝ විනෝදයෙන් කාලය ගතකළෙමු.     බඩු අදින එක දවසක අපි කළේ උඩ තට්ටුවේ හැංගී ඉඳිමින් පහළ දොරෙන් ඇතුල්වෙන අයට වතුර ගැහීමය.     හොයන්නට එනවිට දුවගොස් කොහේ  හෝ හැංගී ඉඳ නැවතත් ඇවිත් පහළ ඉන්න උන්ට වතුර සංග්‍රහය දුන්නෙමු.      අපි කීපදෙනෙක් වතුර ගහන විට වතුර ගෙනැවිත් දීමෙන් උදව් කළේ ජයරත්නත්, පුෂ්පිකාත් ය. 

ජයරත්න මැදි වයසේ සිටි අයෙකු වුවද කොලුකම ඔහුගේ ඉහට ගසා තිබුණි.     පුෂ්පිකාත් ඒ වගේය විවාහක  එක්දරු මවක වුවද කෙල්ලෙක් මෙන් සැහැල්ලුවෙන් විනෝදයෙන් හැසිරුණු ඇය අපි කළ ඕනෑම  කුප්ප වැඩකට කොන්දේසියකින් තොරව මුළු හදවතින්ම සහයෝගය දුන්නාය.     උන් දෙන්නා වතුර ගත්තේ කඩා දමා තිබු ඡායාරුප අංශයේ අඳුරු කාමරයේ තිබු ටැප් එකෙනි.     මුලින් මුලින් සිලි සිලි කවර වලට වතුර ගෙනැත් දුන්නත් සිලි කවර හිඟවන විට කරදාසි කොළ ගොටු වලට වතුර පුරවාගෙන  දුවගෙන ඇවිත් අපට දුන්නේ වතුර ඉහිරෙන්නට පෙර ගහන්නටය.      දෙසතියේ සුරේෂ්ගේ සහයට සිටි ශ්‍රියානිට දොරෙන් ඇතුල්වන විටම වතුර පාරක් වැදුණු අතර  ඇය අඬාගෙන දිව ගියේ වතුර ගහපු උන්ට විරුද්ධව පැමිණිලි කරන්නටය අපි වහා දිවගොස් හොඳ ළමයින් වගේ වාඩිවී සිටියෙමු.   තවත් එකෙක් වතුර ගහන උන්ට තිත්ත කුණුහරුපයෙන් බණිමින් ඇතුළට ආවේ ඌට වතුර ගහන්නට ඉන්න එකාගේ මෑණියන්ට පිං දෙමිනි.    දොරෙන් ඇතුල්වන විටම සූස් ගාගෙන පියඹා ආ වතුර කවරයක් චකස් ගා උගේ මුණේ වැදී වතුරෙන් නෑවී ගියේය ඒ සමගම ඌ ආගිය අතක් නැතිවිය.

ඔය විදියට ෂිෆ්ටින් ආතල් ගත්ත අපිට චිත්‍රපට අංශයට ගියදා සිට වැඩක් කරන්නට තියා වාඩිවී ඉන්නටවත් තැනක් නැති සුපිරිම අනාථයන් රැළක් බවට පත්වූයෙමු.      දවස් දෙකතුනක් යද්දී හදිසියේ වැස්සොත් එහෙම ගෙනා සබ්බ සකලමනාවම තෙමී දියබත්වන හේතුවෙන්  චිත්‍රපට අංශයේ ඇති කුඩා සිනමා ශාලාවට මාරුවක් ලද්දෙමු.     සිනමා ශාලාවට ගියත් අපි එහි වාඩිවී නොසිටියේ ඉන්නට කම්මැලි නිසාය.     ඒ දිනවල අපේ දෛනික වැඩසටහන වුණේ උදේට කොටුව ස්ටේෂන් එකේ සිට පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට ඔෆිස් වාහනයෙන් ඇවිත් කට්ටියම කැන්ටිමට එකතුවී උදේ කෑම ගෙන ඉන්පසුව නොයෙකුත් බූත කියවමින් කාලය ගතකර බොහෝවිට දවල් වෙද්දී පොල්හේන්ගොඩ වලේ බාර් එකටද ගොස් ආපහු ඇවිත් දවල් කෑම කා හවස තුන වෙද්දී යන්නට පිටත් වීමය.     සති කීපයක් මෙලෙස ගතවෙද්දී දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අංශයත් දෙසතිය කර්තෘ මණ්ඩලයත්  කොම්පඤ්ඤ වීදියේ රක්ෂණ ගොඩනැගිල්ලටද පාලන අංශය,ගිණුම් අංශය,ඡායාරුප අංශය හා දෙසතිය බෙදාහැරීම මැලේ වීදියේ පරණ අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලටද ගෙනයන ලදී.

මැලේ වීදිය අපට තිබුණාටත් වඩා හොඳ තැනක් විය.    කොම්පඤ්ඤ වීදියේ හෝටල්වල රතුළූණු අතවැඩියෙන් දමා මිරිස් සැරට  හදන කෝලි හොද්ද සමග ගෝදම්බ රොටීවලද බාබත් සමග මනි පිට්ටුවලද රස විඳිමින් ජෑම් ගහ යට හොරපොලෙන් බාර් වසා තියෙන දවස්වලටද  සප්පායම් වෙමින් අපි ඉතා සැහැල්ලුවෙන් කාලය ගතකළෙමු.     රාජකාරිය වූ දෙසතිය බෙදාහැරීමද ඉතා හොඳ තත්වයකින් පවත්වාගෙන යන්නට මගේ ගෝලයින් ඉතා කැපවීමෙන් කටයුතු කළෝය.    ඔය කාලයේ අලුතෙන් බඳවාගත් කණ්ඩායමකින් මුස්තාපා නම් තරුණ කොල්ලෙක්  දෙපාර්තමේන්තුවට පත්කර එවන ලදී.     උගේ උපන්ගම නැගෙනහිර පළාතේ සයින්දමරදු වූ අතර ප්‍රශ්නය වුයේ මේකාට දෙමළ හැරෙන්නට වෙන කිසිම භාෂාවක් ලියන්න කියවන්නට හෝ කතාකරන්නට බැරිවීමය.     ඒ නිසාවෙන් වෙනත්  කිසිම අංශයකට වැඩක් ගන්නට බැරි නිසා මුස්තාපාව මගෙ ලඟට එවන්නට යෙදුනු අතර මමද කිසි වෙනස්කමක් නොපා ඌව ආදරයෙන් මගේ බෙදාහැරීම් කණ්ඩායමට එකතු කර ගතිමි.

භාෂාව බැරිවුනද මුස්තාපා ඉතා හොඳ කණ්ඩායම් සගයෙකු වූ අතර අපේ රාජකාරි ගමන්වලට බොහෝ  උනන්දුවෙන් සහභාගී විය.       දෙසතිය රාජකාරිවලට පිට පළාත්වලට යද්දී ජීවිතේටම මත්පැනක් තොල නොගා සිටි අහිංසකයාට අරක්කු බොන්නට පුරුදු කරන්නට දෙසතියේ ගෝලයන් වූ සෝමපාල සහ කාලිංගට ටික දවසකින්ම හැකිවිය.    පසු කලෙක සයින්දමරදුවලට මාරුවක් ලබාගෙන යන තුරුම මුස්තාපා අප සමග ඉතා සතුටින් සේවය කළේය.     දෙසතිය බෙදාහැරීමේදී අප නොවරදවාම යන්නට පුරුදුවී සිටි පන්සලක් වත්තේගෙදර පැත්තේ විය.    ඒ පංසලේ හාමුදුරුවෝ ඉතාම හොඳ දෙසතිය පාඨකයෙක් වූ අතර පංසලට යන අපට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කරන්නට  අමතක නොකළහ.    දවාලක ගියොත් නොවැරදීම දවල් දානය අපටත් ලැබෙයි හවසක නම් රසකැවිලි කෙසෙල්ගෙඩි සමග තේය.     දානය අවසන්ව අප එන්නට පිටත්වන විට හාමුදුරුවන්ට පිරිකරට ලැබී ඇති කුඩ හෝ තුවා තෑගි වශයෙන් ලැබේ.  මේ සංග්‍රහ සත්කාර හේතුවෙන් අප ඒ හාමුදුරුවන්ගේ පංසලට යන්නට බොහෝ ප්‍රිය කළෙමු.

දැන් ඉතින් අදට කතාව හමාර කරන්නට වෙලාව පැමිණ ඇති නිසා දැන් ඇත්තේ පුර්වාපර සන්ධි ගැලපීමයි. ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙන් පිටත්වීමෙන් පසු තැන තැනට යන්නට සිදුවූ නිසා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ස්ථිර වාසස්ථානයක් අවශ්‍ය බව තේරුම් ගත් බැවින් දෙපාර්තමේන්තුවේ දේපොලක් වූ රජයේ චිත්‍රපට අංශය තිබෙන ඉඩමේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය සහ එයට අයත්  අනිකුත් සියලුම අංශ සඳහා ගොඩනැගිලි පසුකලෙක ඉදිවිය.    දැන් ඔය නෙළුම් අජිත්ලා බ්ලොග් සම්මාන දෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය ඉදිවුණේ අන්න ඒ ආකාරයටය.     ජනාධිපති ප්‍රේමදාස ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ ඉදිකරන්නට සැලසුම් කළ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයට කුමක් වුනේදැයි කියන්නටද අවශ්‍යය.     ප්‍රේමදාස මහතා වැඩේ භාරදුන්නේ නවලෝක මුදලාලිටය.    මුදලාලි පළමුවෙන්ම කළේ ගොඩනැගිල්ලේ තිබු මසුරන් වටිනා බුරුම තේක්ක ලී සියල්ලම ගලවා  පෑලියගොඩ ලී මෝලට ඇදගැනීමය.     ඉන්පසුව ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව ආ දෝෂාභියෝගය හේතුවෙන් බොහෝ අවිවේකී වූ ඔහුට ට්‍රාන්ස්වර්ක් මන්දිරය ගැන සොයා බලන්නට වෙලාවක් නැතිවූ බැවින් වැඩේ එහෙමම යටගොස් ට්‍රාන්ස්වර්ක් මන්දිරය පාලුවට ගොස් තිබියදී යන්නට තැනක් නැතිව සිටි කොටුව පොලිසිය එයට රිංගාගෙන සිටිනු මම පසු දවසක එතැනින් යද්දී දුටුවෙමි෴

ප.ලි. කාර්ය බහුලත්වය සහ කම්මැලිකම හේතුවෙන් ලිවීම කල්දදා සිටි මට හැමදාම වගේ කතා කර ලියන්නට කියා කරදර කළේ කොච්චියාය.   මේ පෝස්ටුව අද පළකලේ කොච්චියාගේ කරදරයෙන් බේරෙන්නට බවද වැඩිදුරටත් ලියා තබමි.

Sunday, October 2, 2016

දෙසතිය මතක- නිහාල්සිංහ, ඒ.ජේ.රණසිංහ, ආරියරත්න විතාන ගේ ඇකඩමිය සමග උමාගේ අංගජාතය.

අද ලියන්නට බලාපොරොත්තු වුයේ සංචාරක සටහනකි.   බොහෝ කාලයකින් සංචාරක සටහනක් නොලියු බැවින් ළඟදී ගිය සංචාරයක් ගැන සටහනක් තබන්නට සිතාගෙන කතාවද සිතේ ලියමින් උදේ කෑමට වාඩිවුයේ රූපවාහිනිය ඉදිරිපිටය.     ඒ වෙලාවේ රූපවාහිනියේ විකාශය වුයේ පැරණි චිත්‍රපටයක් වූ දහසක් සිතුවිලි චිත්‍රපටයයි.     එය මා නරඹා නොතිබූ සහ නැරඹීමට කැමැත්තෙන් සිටි චිත්‍රපටයක් බැවින් රුපවාහිනිය ඉදිරිපිට පැය තුනක් පමණ කාලය ගතකරන්නට සිදුවිය.   1968 දී තිරගතවූ දහසක් සිතුවිලි එකල කලාකරුවන් විසින් පිහිටුවාගෙන තිබු සංවිධානයක් වූ කලාපෙළ වෙනුවෙන් ජී.ඩී.එල් පෙරේරා කතාව ලියා අධ්‍යක්ෂණය කර තිබු අතර කැමරාකරණය ඩී.බී නිහාල්සිංහගෙනි.   චිත්‍රපටයෙන් මා බලාපොරොත්තු වූ තරම් රසයක් විඳගැනීමට නොහැකි වුණත් කැමරාකරණයෙන් නිහාල්සිංහයන් දක්වා තිබු දස්කම් නිසාද තවත් හේතුවක් නිසාද චිත්‍රපටය මුල සිට අගටම නැරඹුවෙමි.

කැමරාකරණයට අමතරව චිත්‍රපටය නරඹන්නට මා උනන්දු කළ අනෙක් සාධකය වුයේ පැරණි චිත්‍රපටවල දකින්නට ඇති දර්ශන පසුතලයි.   බොහෝවිට කොළඹ හෝ වෙනත් නගර මීට වසර පණහකට පමණ පෙර තිබුණ ආකාරය, පාරවල්වල විනාඩි කීපයකට වරක් ධාවනය වන තට්ටු දෙකේ බස් ඇතුළු වෙනත් වාහන, නගරයේ තිබු ගොඩනැගිලි හා දුම්රියපොළවල්  එකල තිබු ආකාරය ආදිය දැකගන්නට මා බොහෝ කැමැත්තක් දක්වමි.    පැරණිකම නිසාම චිත්‍රපටයේ දර්ශන බොහෝවිට එතරම් පැහැදිලි තත්වයක නොවුවත් නිහාල්සිංහයන්ගේ මනරම් කැමරාකරණය ඒ අපහසුතාවන් පරදවන්නට සමත් විය.   

නිහාල්සිංහයන් කැමරා ශිල්පියෙක් ලෙස රජයේ චිත්‍රපට අංශයේ සේවය කළේ මා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයට යන්නට බොහෝ කලකට පෙර බැවින් එහිදී ඔහු හමුවීමට අවස්ථාවක් නොවීය.    ඒ කාලයේ නිහාල්සිංහයන් ටෙලිසිනෙ ආයතනය ආරම්භ කර තිබුණි.   ඔහු ගැන කියන විට මට තව කතාවක් මතක්වේ.   මා දෙසතිය සඟරාව බෙදාහැරීම භාරගත් පසුව සඟරාවේ අලෙවිය ඉහළ දැමීම සඳහා රේඩියෝ වෙළෙඳ දැන්වීමක් සකස් කළෙමි.   දෙපාර්තමේන්තුවෙන් කෙසේ හෝ මුදල් ඉල්ලාගෙන වෙළෙඳ දැන්වීම සකස් කළත් එය රේඩියෝවෙන් ප්‍රචාරය කරවාගන්නට නොහැකි වුයේ දැන්වීම ප්‍රචාරය සඳහා ගුවන් විදුලි සංස්ථාව ඉල්ලු මුදල ගෙවන්නට දෙපාර්තමේන්තුවට නොහැකිවීම නිසාය. 

මුදල් නොගෙවා දැන්වීම ප්‍රචාරය කරවාගන්නට ක්‍රමයක් ගැන දහඅතේ කල්පනාකරමින් සිටිනවිට මට මතක්වුණේ එකල ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය වරයාව සිටි ඒ.ජේ රණසිංහ මහතාවය.   රේඛීය අමාත්‍යාංශය වූ සංස්කෘතික හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය භාර කැබිනට් ඇමතිවරයා වූයේ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා වුවත් ඔහුගේ අමාත්‍යංශයේ විෂය පථයට අයත්වූ ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව සිය පුද්ගලික බුදලයක්සේ පාලනය කළේ සහ ජනාධිපති ප්‍රේමදාසගේ ආශීර්වාදය සහිතව පරිහරණය කළේ  ජනාධිපති ප්‍රේමදාසගේ අගසව්වෙකු මෙන්ම දැඩි ප්‍රේමදාස වාදියෙකු වූ ඒ.ජේ.ආර් හෙවත් ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය ඒ. ජේ රණසිංහ මහතාවූ බැවින් කැබිනට් ඇමතිවරයාට මේ ස්ථාන ද්විත්වයටම පය තැබීමට හෝ අවසරයක් නොවීය.    එහෙයින්  ලොකුබණ්ඩාරයන්ට සිදුවුයේ සංස්කෘතිය බලා කියාගෙන ශ්ලෝක කියමින්ද පොත් ලියමින්ද කොළ කැඳවල ගුණාගුණ  ප්‍රචාරය කරමින්ද බෙහෙත් පැළ බෙදාදෙමින්ද කාලය ගතකරන්නටය.

දැන්වීම ප්‍රචාරය කරවා ගැනීම ගැන මම දෙපාර්තමේන්තු  ප්‍රධානියා වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා සමගද කතාකළෙමි.   ජනාධිපති ප්‍රේමදාස විසින් පත්කරන ලද්දෙකු වූ ඔහුද වියයුතු පරිද්දෙන්ම උග්‍ර ප්‍රේමදාස වාදියෙක් විය.     මගේ කතාව සාවධානව අසා සිට අතේ තිබු ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුව බාගයක්ම දැවෙන සේ දිග දුම් උගුරක් ඇද්ද ඔහු කියා සිටියේ මගේ ප්‍රශ්නය මා විසින්ම රාජ්‍ය අමාත්‍ය වරයා සමග කතාකර විසඳුමක් ලබාගත යුතු බවය.   රාජ්‍ය අමාත්‍යවරයා ගේ කාර්යාලය තිබුණේ අපේ දෙපාර්තමේන්තුවේම බිම් මහලේ වුවත් කාර්යාලයේදී ඔහු හමුවීම ඉතා අසීරු කරුණක් වුයේ ඉඳහිට කාර්යාලයට එන ඔහු කාර්යාලයේ රාජකාරි ටික කඩිමුඩියේ අවසන් කර ජනාධිපති ප්‍රේමදාස මහතා යන යන තැන පසුපසින් යන්නට පුරුදුවී සිටි නිසාය.

මෙලෙස තීරණයක් නොමැතිව කාලය ගතවී යද්දී  දෙසතිය සඟරාවට අවුරුදු පහළොවක් පිරෙන වසරේ ඒ වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා තීරණය කළේය.   එහි ප්‍රධාන අමුත්තා වුයේ ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය ඒ.ජේ. රණසිංහ මහතාය.    නියමිත දිනයේ රණසිංහ මහතා සුදෝ සුදු කමිසයක් සහ කලිසමක් හැඳ සුදු සපත්තු දෙකක්ද පැළඳගෙන තොල් රතුකර මාල වළලු ආදියෙන් සැරසී නයිස් කාරයෙක් මෙන් උත්සවයට පැමිණියේ මුව පුරා සිනාවෙමිනි.    දෙසතියේ වර්තමාන ප්‍රගතිය ගැන තමන් මහත්සේ සතුටු වන බවත් සඟරාවේ අභිවෘද්ධියට තමන්ට හැකි සැම උපකාරයක්ම නොඅඩුව ලබාදෙන බවත් ඔහුගේ කතාවේදී රණසිංහ මහතා සඳහන් කළේය.

මාධ්‍ය කරුවන්ට පුවත් මවන්නෙකුවූ ඒ.ජේ. රණසිංහ මහතාට මාධ්‍යවේදීන් බොහෝ මනාප වුයේ ඔහු තැන නොතැන නොබලා කරන විනෝදාත්මක ප්‍රකාශයන් නිසාය.   ජනාධිපති ප්‍රේමදාස විසින් ඔහුව කඩුවෙල ආසනයේ සංවිධායක වරයා ලෙස පත්කර තිබූ අතර ටික කලකට පසු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාවද කඩුවෙල ආසනයේ සම සංවිධායකයෙකු  ලෙස ප්‍රේමදාස මහතා විසින් පත්කරන ලදී.     මේ අලුත් පත්වීම ගැන රණසිංහ මහතා දැඩි අප්‍රසාදයෙන් පසුවුවද ජනාධිපති ප්‍රේමදාස විසින් කරන ලද පත්වීමක් නිසා එය විවේචනය නොකළත් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාට කරන්නට ඇති සියලුම කොන්කිරීම් මදිපුංචිකම් ආදිය නොඅඩුව සිදුකරමින්ද කොඩිතුවක්කු මහතාව විවේචනය කරමින්ද ඔහුට කඩුවෙල ආසනය තිත්ත වෙන ආකාරයට වැඩ කරන්නට රණසිංහ මහතා අමතක නොකළේය.    වරක් කඩුවෙල ආසනයේ පැවති උත්සවයකදී රණසිංහ මහතා අපූරු කතාවක් කීවේය.    "මේ කඩුවෙල මගේ මනමාලියයි. මා ඇයව දිවිහිමියෙන් රැකබලාගනිමි. නමුත් මේ මෑතක සිට හොර මනමාලයෙක් පැමිණ මගේ කඩුවෙල මනමාලියට බැල්ම දමන්නට පටන්ගෙන ඇත. විටින් විට පැමිණෙන හොර මනමාලයින්ට මේ මනාලිය අයිතිකර ගන්නට මා කිසිසේත්ම ඉඩ නොතබන අතර මේ කඩුවෙල කොඩියත් මමය,තුවක්කුවත් මමය" යනුවෙන් ඔහු කීවේ සභාවේ සිනාහඬ මැද්දේය.

ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය රණසිංහ මහතාගේ මෑණියන් මියගියේ මේ අතරවාරයේය.    මළගම තිබුණේ රත්නපුරේ මාදම්පේ පැත්තේ තිබු ඔහුගේ මහගෙදර වූ පරණ වලව්වකය.    දෙපාර්තමේන්තුවේ අපි සියලු දෙනාම මළගෙදරට සහභාගී වුණෙමු.    ජනාධිපති ප්‍රේමදාස ඔහුගේ හිතවත්ම අන්තේවාසිකයාගේ මවගේ මරණයට සහභාගී නොවීම බොහෝ දෙනෙකුගේ සිත්වල ප්‍රශ්නාර්ථයක් මතුකළ කරුණක් වුවත් අපට එය පුදුමයක් වුණේ නැත.     ප්‍රේමදාස මහතා මළගෙදර නොගියේ කිල්ලට අසුවන නිසාය.    ඒ දවස්වල මතුවී තිබු දෝෂාභියෝගය හේතුවෙන් ලංකාවේ සැම තැනකින්ම කරන්නට ඇති මන්තර ගුරුකම් සියල්ලම කරවාගෙන ඊට අමතරව මලයාලි ගුරුකම්ද කරගෙන ඇහිබැමද බූගා සිරුරේ සැමතැනම ආරක්ෂා නූල්ද යන්තරද සුරද පැළඳගෙන මතුරන ලද තෙල් ගාගෙන සිටි ප්‍රේමදාස මහතාට මළගෙයක් පැත්ත පළාතක නොයන ලෙස කට්ටඬින් විසින් තරයේ අවවාද කරන ලදී.      මළගෙදර ගිය අපව රණසිංහ මහතා විසින් ආදරයෙන් පිළිගන්නා ලදුව අප සමග ආගිය කතා විමසද්දී අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මා රාජකාරි කටයුත්තකට ඔබතුමා හමුවන්නට උත්සාහ කළත් ඔබතුමාගේ කාර්ය බහුලත්වය හේතුවෙන් හමුවන්නට නොලැබුණු බව කීවෙමි.   

ඔහු වහාම මගේ විස්තර ඉල්ලාගෙන කොළඹට පැමිණි විගස හමුවන්නට වේලාවක් ලබාදෙන බව කීවේය.     පොරොන්දු වූවාක් සේම ඊළඟ සතියේ මට රණසිංහ මහතාව හමුවන්නට අවස්ථාව ලැබුණි.    මම වෙළඳ දැන්වීමේ කතාව ඇතුළත් ලිපියක් සකස් කරගෙන එයද රැගෙන ගොස් රණසිංහ මහතාව හමුවුනෙමි.   ලිපිය කියවන්නට කාලය නොගත් ඔහු විස්තරය මගෙන් අසාගෙන වෙළඳ දැන්වීම දවසට දෙවරක් රේඩියෝවෙන් ප්‍රචාරය කරන ලෙස නියෝගය කොළපාට තීන්තෙන් ලිපියේ  සටහන් කර මගේ අතට දුන්නේ "දැන් වැඩේ හරියාවි" යි කියමිනි.     රණසිංහ මහතා කොපමණ යු.ඇන්. පී ලැදියෙක් දැයි පෙන්වුයේ ඔහුගේ ලිපි කටයුතුද කොළපාට තීන්තෙන් කරමිනි.     රජයේ සේවයේදී කොළපාට තීන්තෙන් ලිවීමට අවසර ඇත්තේ විගණන කටයුතු කරන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් වුවද ඒ සම්මතය රාජ්‍ය ඇමතිවරයා නොදැන සිටියාද නැත්නම් ගණන් නොගත්තා දැයි නොදනිමි.    කෙසේ වුවද මගේ උත්සාහය සාර්ථකවී ඊළඟ සතියේ  සිට වෙළෙඳ දැන්වීම රේඩියෝවෙන් ප්‍රචාරය වන්නට වූ බව මා දැනගත්තේ දෙසතියේ ඉල්ලුම වැඩිවූ බැවිනි.     එසේ නොමැතිව මට ඒ වනතෙක් අදාළ වෙළෙඳ දැන්වීම අසන්නට ලැබී තිබුණේ නැත.   

ඒ වෙළෙඳ දැන්වීම දවසක්දා මට අසන්නට ලැබුණේ අහම්බෙනි.   ඒ මෙහෙමය එකල දෙසතියේ රාජකාරිවලට පිටපළාත් වලට යද්දී කොළඹින් පිටත්වන වාහනය මගදිගට එකිනෙකා නග්ගවාගෙන අන්තිමට මාව එකතුකරගන්නට අපේ ගෙදරට එන්නේ උදේ කෑමටත් එක්කය.    ඒ අපේ අම්මා හදන ඉඳිආප්ප එක්ක කන්නට ඇති පොල් මැල්ලුමට උන් ටික වහවැටී සිටි නිසාය.     කලින් දවසේම කට්ටිය මට කියන්නේ අම්මාට කියා ඉඳිආප්ප හදා තියන්නට කියාය.    අපේ කණ්ඩායම තමන් හදන කෑම ආසාවෙන් කන බව දන්නා අම්මාද දන්න වැඩ දමා ඉඳිආප්පද, පොල්මැල්ලුම්ද, පොළොස් ඇඹුල්ද ලෑස්ති කර තබයි.   එදාද අපේ ගෙදරින් කාබී පිටත්වුණු අපි ටවුමේ වාහනය නවත්වා කඩයකට ගියේ මොනවාදෝ ගන්නටය.    අන්න ඒ වෙලාවේ කඩේ තිබු රේඩියෝවෙන් දෙසතිය වෙළෙඳ දැන්වීම ප්‍රචාරය වනු අප සියලු දෙනාම අසා සිටියෙමු. 

දැන්වීම හේතුවෙන් දෙසතිය අලෙවිය තරමක් ඉහළ ගියද එය අප බලාපොරොත්තුවූ ඉලක්කයට ලඟාවුයේ නැත.   ඒ සඳහා ඊට වැඩි ප්‍රබල ප්‍රචාරණයක් ලැබිය යුතු බව අපගේ විශ්වාසය විය.   පිළිතුර වුයේ රුපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කිරීමය.     ගුවන් විදුලි දැන්වීම මෙන් නොව රූපවාහිනියට වෙළෙඳ දැන්වීමක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් වියදම් කරන්නට සිදුවේ.     වියදම් කරන්නට හැකි මුදල් ප්‍රමාණයේ තරමට දැන්වීමේ ගුණාත්මක භාවයද ඉහළ යයි.    කෙසේ හෝ දැන්වීම නිෂ්පාදනය කර ගතහොත් ඒ.ජේ.රණසිංහ මහතාට කියා ප්‍රචාරය කරවා ගන්නට හැක.     අප බලාපොරොත්තු වුයේ නිහාල්සිංහයන්ගේ ටෙලිසිනෙ වෙතින් දැන්වීම නිෂ්පාදනය කරවා ගන්නටය.    තමන්ද කලක් සේවය කළ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිහාල්සිංහ මහතා විශේෂ යමක් කරනු ඇතැයි අප විශ්වාස කළෙමු.    මට මතක්වුයේ නිහාල්සිංහයන් මට මුල්වරට හමුවූ දිනයයි. 

ආරියරත්න විතාන වැලිමඩ අල මුදලාලි කෙනෙක් සමග එකතුවී බෙන් ෆිල්ම්ස් වෙතින් කැමරා උපකරණ ලබාගෙන නෙලන්න බැරි මල් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළත්  කලක් ගතවෙනතුරු ටෙලිය පෙන්නාගන්නට ලැබුණේ නැත. අපි ඔවුන්ගේ ටෙලියට විහිළුවට හදපු ගීතයක මුල් පද මෙසේය.
රන්වන් දුල් කරලින් පිරිලා නැමිලා බරවීලා
අල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා  
හෝ කෙත් වතු පිරිලා සාරා.
කරකියාගන්නට දෙයක් නැතිව සිටි ආරියරත්න විතාන ඔහුගේ මිත්‍රයා වන විල්මන් සිරිමාන්න සමග එකතුවී චිත්‍රපට හා ටෙලි නාට්‍ය ඇකඩමියක් පිහිටවුයේ ළමයින්ට උගන්වන්නටය.     පංති පැවැත්වුනේ පැලවත්තේ විල්මන් සිරිමාන්නගේ නිවසේය.    ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටෙලි නාට්‍යවල තාක්ෂණික පැත්ත ගැන උගන්වන්නට කැමරා උපකරණ අවශ්‍ය බැවින් ආරියරත්න විතාන බෙනට් හමුවී කැමරා උපකරණ ලබාදෙන ලෙස ඉල්ලීමක් කලවිට උදව්වක් වශයෙන් එය කරදෙන්නට බෙනට් එකඟවිය.   ඇකඩමිය සමග අපේ සම්බන්ධය ඇතිවුණේ ඒ ආකාරයටය.     ඇකඩමියේ පංති පැවැත්වෙන සහි අන්ත දිනවල අපටද ඇකඩමියට යන්නට සිදුවුන අතර අපද ඉතා කැමැත්තෙන් ඇකඩමියට ගියේ ඉගෙන ගන්නට එන ශිෂ්‍යාවන් කණ්ඩායමටද  ටෙලි තාක්ෂණය ගැන විස්තර කරන්නට අපට පැවරෙන නිසාය.

ඇකඩමියේ පළමුවෙනි පාඨමාලාව සම්පුර්ණ කළ ශිෂ්‍ය කණ්ඩායමට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා ආරියරත්න විතාන උත්සවයක් සංවිධානය කළේය.    උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පැමිණියේ නිහාල්සිංහ, දෙනවක හාමිනේ, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසකි.    අපද එදින උදේ සිට ඇකඩමියට වී සිටියෙමු.   උත්සවයට කල්වේලා නොඉක්මවා නිහාල්සිංහයන් පැමිණි අතර ඉන්පසුව දෙනවක හාමිනේ පැමිණියාය.   ඇය පැමිණි වාහනය නවත්වනවාත් සමගම එතැනට ගිය නිහාල්සිංහයන් වාහනයේ දොර හැර ඇයව ඔසවාගෙන නිවසට ආවේ සිනාසෙමිනි.     එතනදී දෙනවක හාමිනේ ඊට වසර විසි ගණනකට පෙර සිදුවීමක් මතක් කළාය.     " අපි සත් සමුදුර කරද්දී මට වැල්ලෙ ඇවිදින්න අමාරු නිසා නිහාල් පුතා මාව හැමදාම සෙට් එකට උස්සගෙන ගියා." නිහාල්සිංහයන් එදා කළේ  පෙර සිදුවීම ප්‍රතිනිර්මාණය කිරීමය.    ක්ෂේත්‍රයේ මොන තරම් දැවැන්තයෙකු වුවද නිහාල්සිංහයන් ඉතා සරල පුද්ගලයෙකු විය.     අප සමග නිහාල්සිංහයන්ගේ දෙවැනි හමුවීම සිදුවන්නේ කතරගම දේවාල පුදබිමේදීය.

වතාවක් අප කොළඹ සිට කතරගම දක්වා දෙසතිය ක්ෂේත්‍ර චාරිකාවක් ගියෙමු.    මා සමග එවකට දෙසතිය භාරව සිටි නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයාද වූ අතර අද ඔහු රාජ්‍ය සේවයේ ඉහළම හිනිපෙත්තේ වැජඹෙන ඉතා ප්‍රබල චරිතයක් බැවින් ඔහුගේ නම සඳහන් නොකරමි. එකල   ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ ප්‍රධානියා වූ අද අප අතර නොමැති පර්සි උමගිලියද අප හා එකතුවුයේ ජනාධිපති ප්‍රේමදාස විසින් ඒ සමයේ නගා සිටවා තිබු මාළිගාවිල බුදු පිළිමයේ පිංතුර ගන්නටය.     අප ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවිටත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සිටි උමගිලිය ඒ වනවිට කොන්ත්‍රාත් ක්‍රමයට නැවත දෙපාර්තමේන්තුවට එක් වී සිටියේය.     හැට පැන්නත් තරුණයෙකු සේ ක්‍රියාශීලී උමගිලිය ඉතා වටිනා සහ සුන්දර ගමන් සගයෙකු විය.   වයස නොබලා අපට මචං කියා කතාකල උමගිලියට අප උමා යනුවෙන් ඇමතුවෙමු.     ඔහු සතුව මග දිගට කියන්නට ඉතා රසවත් කතා ගොන්නක්ම විය.  නිහාල්සිංහයන් සේවය කළේද උමා රජයේ චිත්‍රපට අංශයට අනුයුක්ත වී සිටි කාලයේ දී බැවින් ඔවුන් දෙදෙනා අතර දැඩි හිතවත්කමක් විය.   පසුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඡායාරුප ශිල්පී තනතුරට පත්වුණු උමා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගිය විදේශ සංචාර සියල්ලටම නිල ඡායාරූප ශිල්පියා වශයෙන් සහභාගී වුවේය.   වතාවක් කවුරුන් හෝ  සමග ප්‍රංශ සංචාරයකට එක්වුණු උමා පැරිසියේ සෙක්ස් ටෝයිස් කඩයකින් ගත්තාය කියා ගෙනැවිත් මට තෑගි කළේ රස්පුටින්ගේ එක වැනි තඩි  අංගජාතයකි.   වේග තුනක් සහිත එය ක්‍රියාකළේ පෙන්ටෝච් බැටරි කෑලි දෙකක බලයෙනි

Sunday, September 18, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 16 - රුවන්ගේ ඩයට් කිරීම, කුවේට් යුද්ධය, නීතාගේ සාංගීක දානය සහ ඉඳිආප්ප තැම්බීම.


අදට මාසයකටත් වඩා ගතවී ඇති පරණ පෝස්ටුව වෙනුවට අලුත් එකක් ලිවිය යුතු වුවත් ලියන්නට වස කම්මැලිය.   මීට මාසයකට පමණ පෙර හැලපි  හැලපැට්ටාත් සමග මා තනිකර දමා යන්නට ගියේ විප්‍රවාසයේ ඇති තනිකමේ නියම අරුත මට පසක් කර දෙමිනි.   කෙසේ වුවද හැලපි ලංකාවේ සිටි කාලය පුරාවටම මට බ්ලොගයේ මොකුත් ලියාගන්නට බැරිවිය.   ඒ කාර්යාලයේ රාජකාරි වලට අමතරව ගෙදර වැඩද තනියම කරගන්නට උන නිසාය.   හැලපැට්ටාගේ රාජකාරි එකලාසයක් කර   අවසානයේ දැනට දින කීපයකට පෙර ආපසු පැමිණි හැලපි කුස්සියෙන් මාව නෙරපා දමා ගෙදර වැඩ කටයුතු තමන්ගේ අතට පවරා ගත්ත වෙලාවේ මට දැනුණේ පුදුමාකාර සහනයකි.    දැන්නම් කෑම ටික පමණක් නොව තේ කෝප්පයද වෙලාවට අතට ලැබේ.   ලද  නිදහසෙන් ප්‍රයෝජන ගැනීම මගේ යුතුකමකි.   ඉතිං ආපසු පරණ කතාවේ ඉතිරි හරිය කියන්නට වෙලාවයි.

ඉන්ද්‍රාගෙන් සමුගෙන බොරැල්ලෙන් තලවතුගොඩ බසයක නැගී බෙන් ෆිල්ම්ස් එකට එනවිට එහේ හරිම කාලගෝට්ටියකි.   මොකද කිව්වොත් රුවන්ට දරුණු බඩේ අමාරුවක් හැදිලාය.    ඌ බඩ බදාගෙන මර ලතෝනි දෙයි.    මොනම අත් බේතකටවත් බඩේ අමාරුව සුව නොවේ.   බඩේ අමාරුව අඩුවෙන්නට අන්තිමට හොයාගෙන තිබු එකම බේත වුයේ එකෙක් රුවනයාගේ මහබඩ උඩ වාඩිවී සිටීමය.  මම එනතුරු ප්‍රභාත්ද කුමාරද උගේ බඩ උඩ මාරුවෙන් මාරුවට වාඩිවී සිට ඇති අතර මා ගෙට ගොඩවුණු විගස දැන් ඇත්තේ මගේ වාරය යයි කියා උන් දෙන්නා බඩ උඩ ඉඳගෙන සිටීමේ සේවාවෙන් ඉවත් වුවෝය.    මාව රුවන්ගේ බඩ උඩ ඉන්දවා ප්‍රභාත් කෙල්ල බලන්නට ගිය අතර කුමාර කොණ්ඩය කපාගන්නට යැයි කියා පැලවත්තට ගියේය.     රුවන් ඇඳේ හාන්සිවී පොතක් කියවමින් සිටින අතර මම උගේ අලිබඩ උඩ වාඩිවී ඈනුම් අරිමින් සිටියෙමි.

"මොකද බං උනේ?" යි මම රුවන්ගෙන් ඇසුවෙමි.

"අනේ දන්නෙ නෑ බං, එකපාරට බඩේ වේදනාවක් ආව. මක්කොල්ලවත් ඉවසගන්න බෑ බඩේ ඇසිඩ් ගතිය වැඩිවෙලාද මංදා" රුවන් කීවේය.

" මේ කෝලං කරල වැඩක් නෑ බං, හරිහමං දොස්තර කෙනෙක්ගෙන් බේත් ටිකක් ගම්මු. අන්න මං කෑම ගෙනල්ල ඇති කාල ඉඳින්. උඹට කන්න පුළුවන්ද?

"ඔව්, කන්න නං පුළුවනි ඒ උනාට හිටපු ගමන් බඩේ වේදනාව එන එක තමා ඉවසන්න බැරි, මේ ලෙඩේ නිසා උඹලටත් කරදරයි මාව ගෙදර ගිහිං දාපල්ලා." රුවන් කීවේය.

ගෙදර ඇරලවන එක හොඳයි කියා මටත් හිතුන නිසා පහුවදා රුවන්ව මාවනැල්ලේ ගෙදරට එක්කරගෙන ගොස් විස්තරය කියාදී ආපහු ආවෙමි.    ගෙදරින් රුවන්ව එදාම පේරාදෙණියේ රෝහලට ඇතුල් කිරීමෙන් පසු බඩේ අමාරුව ඇපෙන්ඩිසයිටිස් බව හඳුනා ගන්නා ලදුව පහුවදාම ඇපෙන්ඩිසය කපා ඉවත් කරන ලදී.

සතියකට පමණ පසු රුවන් තාත්තාත් සමග ආපහු බෙන් එකට ආවේ රෝහලෙන් දෙන ලද කෑම වට්ටෝරුවකුත් අතැතිවය.    වෛද්‍යවරයා කියා ඇත්තේ රුවන් මහත වැඩි නිසා හැකි ඉක්මනින් ඇඟ අඩුකර ගැනීම අවශ්‍ය බවයි.      බර අඩු කර ගැනීමට අදාළ කෑම වට්ටෝරුව මට බාර දුන් රුවන්ගේ පියා ඒ පිළිවෙලටම රුවන්ට කෑම දෙන්නට මාව පොරොන්දු කරවාගෙන ආපසු ගියේය.   වෛද්‍යවරයාගේ කෑම වට්ටෝරුව අනුව රුවන්ට උදේට කන්නට නියමිතව තිබුණේ ක්‍රීම් ක්‍රැකර් විස්කෝතු දෙකකුත් ඇඹුල් කෙසෙල් ගෙඩියකුත්ය.   දවල්ට බත් කෝප්පයක් එළවළු, මාළු හෝ මස් සමග සහ රාත්‍රියට එළවළු සුප් සමග කරකළ පාන් පෙත්තකි.    උදේට පාන් බාගයක් හෝ තුන්කාලක් හොද්දකුත් සමග ඇඟට නොදැනී ගිලදමන රුවනයාට විස්කෝතු කෙසෙල්ගෙඩි සමග දෙනවිට මුහුණ ඇඹුල් කරගෙන අපි කන දේවල් කන්නට ඉල්ලා රණ්ඩු වෙයි.   කොහොම හරි දවස් දෙකතුනක් ගතවෙද්දී මම වැඩට ගිය පසුව ඌ බත් උයා පොල් සම්බෝලද හදාගෙන ඒකට තක්කාලිත් කලවං කරගෙන බඩ පිරෙන්නටම ගිලදැමු බව කුමාර මට කිව් පසුව රුවන්ට ඩයට් කරන එක මම නැවැත්තුවෙමි.   ඌ අදටත් එදා වගේම දැවැන්ත ශරීරයක් ඇත්තෙකි.

ඔය ආකාරයට බෙන් එකේ අපේ ජීවිතය ගලායද්දී මම සුපුරුදු පරිදි කාර්යාලයේ රාජකාරියට ගියෙමි.   ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කළේ ඔන්න ඔය කාලයේදීය.    එයට ක්ෂණිකව අමෙරිකාව විසින් ප්‍රතිචාර දැක්වීම නිසා මැද පෙරදිග දැඩි යුද උණුසුමක් හටගත්තේය.   අපේ කාර්යාලයේ නීතාගේ මහත්තයා වැඩ කලේත් මැද පෙරදිග රටකය.   ඒ රටට යුද්ධයේ හුළඟක් වත් නොවදින නමුත් නීතා මහත්තයාට හැමදාම කරදර කළේ  ගෙදර එන්නට කියාය.    නීතාගෙන් බේරෙන්නට බැරි තැන අන්තිමේ ඔහු රස්සාවෙන් අස්වී ලංකාවට ආවේය.    සැමියාගේ පැමිණීම සහ තව තව හේතු කීපයක් නිසා නීතා ගෙදර සාංගීක දානයක් ලෑස්ති කර දානයට එන්නට කියා අපටද ආරාධනා කළාය.     නීතා පදිංචිව සිටි කිඹුලාවල ගෙදර බෙන් එකට බොහොම ළඟ නිසා කලින්දා රෑ ගෙදර ඇවිත් තියෙන වැඩවලට උදව් කරන්නට කියා ඇය මට වැඩි දුරටත් කීවාය.

" එදාට වෙන කව්ද එන්නෙ?" යි මම නීතාගෙන් ඇසුවෙමි.

" ඇයි ඔයාගෙ සයිකො එකත් ඒවි!"යි  ඇය කීවේ සිනාසෙමිනි.

" එහෙනං කට්ටිය ඕනැ තරම් ඔය ඉන්නෙ!"

" නෑ වැඩ තියෙනවා ඔයත් ආවට වැඩිවෙන්නෙ  නෑ! "  යි නීතා කීවේ කතාව නවතමිනි.

කිඹුලාවල ඒ දිනවල භීෂණය දරුණුවට පැතිරී ගිය පෙදෙසකි.     ඊට දින කීපයකට පෙර තරුණයන් තුන් හතර දෙනෙකු මරා ගෙනැත් වෙල්යායට දමා තිබුණා මට මතකය.    ඒ ගැන ටිකක්  බයෙන් සැකෙන් වුවද දානයට පෙරදින රෑ මම නීතලාගේ ගෙදරට ගියෙමි.    ඒ වනවිටත් නීතලාගේ ගෙදර ඇවිත් සිටි ඉන්ද්‍රාත්, කුමාරිත් නීතලාගේ කුස්සිය පැත්තේ එළියේ වාඩිවී කතා කරමින් සිටියහ.     මා එනු දුටු ඉන්ද්‍රා  විළිබර සිනාවක් පෑවාය.

"මතක් කරනකොටම ඔය එන්නෙ! "යි මා දුටු කුමාරි කීවාය.

" ඇයි මම නැතුව පාලුවෙන්ද හිටියෙ?" යි මම ඇසුවෙමි.

" අනේ මම නං නෙවෙයි.  පරක්කු වෙලාය,රෑ වෙනකොට බයයිය කියා කියා මෙච්චර වෙලා කියෙව්වෙ මෙන්න මෙයා! "යි ඉන්ද්‍රා දක්වමින් කුමාරි කීවාය.   ඉන්ද්‍රා මුහුණද රතුකරගෙන කුස්සිය ඇතුළට ගියේ මට තේ එකක් ගෙනෙන්නටය.

" කෝ ඔය කාණ්ඩෙ  ඔක්කොම එන්න වැඩ තියෙනවා!" නීතා කතා කරයි.

නීතා ලෑස්ති වෙන්නේ උදේ හීලට ඉඳිආප්ප තම්බා ගන්නටය.    හාමුදුරුවන්ට දානෙට පන්සලට යවන්නටත් ගෙදරට එන අයට  උදේට කන්නට දෙන්නටත් ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් අවශ්‍යය.    අද මෙන් ක්‍ෂණික හාල්පිටි මිශ්‍රණ නොමැති එකල ඉඳිආප්ප තනා ගත්තේ පාන්පිටි තම්බා උණුවතුර මිශ්‍රකර ගැනීමෙනි.    පාන්පිටි ඉඳිආප්ප තැම්බීමට මිශ්‍රණය සාදා ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළයුත්තේ පදම වැරදුනහොත් ඉඳිආප්ප මිරිකා ගැනීම අසීරු වන නිසාය.  මන්ද යත් ඉඳිආප්ප වංගෙඩියට දමන පිටි මිශ්‍රණය ගලක් මෙන් තදවී මිරිකන්නට නොහැකිව යන බැවිනි.    නීතා අපට කතාකළේ ඉඳිආප්ප මිරිකන්නටය.    නමුත් ඒ වනවිටද ඇබැද්දිය සිදුවී අවසානය, නීතාගේ නංගිලා අතින් මිශ්‍රණයේ පදම වැරදී තිබිණි.    අපට සිදුවුයේ දත කාගෙන අමාරුවෙන්  ඉඳිආප්ප මිරිකන්නටය.

"ඔන්න මෙදා සැරේ නං වරද්ද ගන්න එපා, ගානට කලවං කරගන්න නැත්නං මිරිකල එපාවෙනවා!" මා එලෙස කීවේ දෙවෙනි වඩියත් මිශ්‍ර කරන්නට සැරසෙන කාන්තාවකටය.  එහෙත් අවාසනාවකට ඒ මිශ්‍රනයේද පදම වැරදී ගියේය.     ඉන්ද්‍රා ඉඳිආප්ප මිරිකන්නේ මගේ ලඟින්ම ඉඳගෙනය.   මම දත්මිටි කාගෙන ඉඳිආප්ප මිරිකනු දැක ඇය මදෙස බලා සිටියේ උවමනාවෙනි.

" මෙයාට ඉඳිආප්ප හදන්නත් පුළුවන් කියල අපි  දැනගෙන හිටියෙ නෑනෙ නේද ඉන්ද්‍රා?"  කුමාරි කියන්නේ ඉන්ද්‍රා දෙස බලමිනි.

"ඔය ගොල්ලො ආඩම්බරේට කතා කළාට අපටත් කුස්සියෙ වැඩ ටිකක් තේරෙනවා!" 

මා එසේ කීවේ ඇත්තද එයම නිසාය.  බෙන් එකට එන්නට පෙර ඉවුම් පිහුම් කිසි දෙයක් නොදැන සිටි මම බෙන් එකේදී අපි දෙතුන් දෙනාට උයා මුලික හුරුවක් ලබාගත්තා මෙන්ම කිචි ධර්මේත් සමග එකතුවී ඉඳහිට කඩාපාත් වෙන දහපහළොස් දෙනෙකුට වුවද උයන්නට හැකි තත්වයකට දියුණුවී සිටියෙමි.

" අනේ හොඳයි උයන්න දැනගෙන ඉන්න එක කොච්චර දෙයක්ද!" කුමාරි කීවාය.

" ඒකනෙ, පවුල් වුන කාලෙක පවුලගෙන් ගුටි කන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙනව කියන්නෙ පොඩි වැඩක්ද ?"

ඉවත බලාගෙන ඉන්නා ඉන්ද්‍රාගේ උරිස්  ගැස්සෙන ආකාරයෙන් පෙනී යන්නේ ඇය අපේ සංවාදය නොමඳව රස විඳින බවය.     කතාව අතරම වැඩද නොනවත්වා කරගෙන ගියත් ඉඳිආප්ප මිරිකීම එන්න එන්නම අසීරු බව අතට තේරේ.

" අමාරුද? " ඉන්ද්‍රා සිහින් හඬින් මගෙන් අසයි.

" මොනා කරන්නද? ඉතුරු හරියත් මිරිකල දාමු !"   මඳ සිනා පෑ ඇය නැවතත් තමන්ගේ කාර්යයේ නිරතවූවාය.

අප ඉඳිආප්ප තම්බා අවසන්වන විට මැදියම් යාමය එළඹෙමින් තියෙන්නට ඇත.   නිදිමතේ ඈනුම් අරිමින් සිටි කුමාරි ඒ වන විටද ගෙට ගොස් සිටි අතර  ඇය කොහේට හෝ වී නිදාගෙන ඇතියැයි ඉන්ද්‍රා කීවේ සිනාසෙමිනි.    ඇඳි පුටුවක හාන්සිවී හිඳගෙන දල්වාගත් දුම් වැටියකින් දුම්ගුලි යවමින් සිටි මගේ ලඟට ඉන්ද්‍රා පැමිණියේ වටපිට බලමිනි.

"එළිවෙනකන් සිගරැට් බිබී ඉන්නද කල්පනාව? " ඉන්ද්‍රා පුටු ඇන්දේ හිඳගත්තේ  සීරුවට මගේ උරයට බරවෙමිනි. ඇගේ සුමුදු පහස ගතට සුවදායකය.

"ඇයි වෙන මොනා හරි වැඩක් එහෙම තියෙනවද ? "

" නෑ මට ගිහිං නිදාගන්න කියල නීත කිව්වා!"

"ඉතිං!"

" මට නිදාගන්න යන්න බෑ මාත් මෙහෙමම ඉන්නං!"

" මරුනෙ, තව පුටුවක් අරං එනවා අපි මෙතැන නින්දක් දාමු!"

" කෝ මෙයා, ආ මෙතනද?  අන්න ඔයාට ඇඳක් ලෑස්ති කරලා තියෙනවා ඉන්ද්‍රා , ඔයා ගිහිං නිදාගන්න.   නිදාගන්න තැනක් හදල දෙනකල් ඔයා ටිකක් ඉන්න!" අප සිටි තැනට එක්වරම ආ නීතා නොනවත්වාම කියවාගෙන ගියාය.   ඉන්ද්‍රා නීතා පසුපස ගියේ මා දෙස බැලුම් හෙළමිනි. නැවතත් කල්පනා ලෝකයේ තනිවී සිටි මගේ දෑස් විටින්විට පියැවී යන්නට විය.

" ආ එන්න!" යි නැවතත් මා සිටි තැනට පැමිණි නීතා කීවාය.

" ඇයි නීතා!"

" ඇයි නෙවෙයි ගිහිං ටිකක් නිදාගන්න,හැබැයි ඇඳන් නං දෙන්න නෑ ඔක්කොගෙම නිදාගෙන ඉවරයි!" නීතා මා රැගෙන ගියේ දානයට ඉඩ ගන්නට ගෙයි සාලයේ තිබු බඩු බාහිරාදිය පැත්තකට ඇදදමා තිබු කොටසකටය.   එතැන තිබු සෝපාවකට ඇඳ රෙද්දක් දමා මට නිදාගන්නට ඉඩ සකසා තිබුණි.

"හ්ම් මෙතනින් නිදාගන්නකො, එළිවෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ!" යි කියූ නීතා යන්නට ගියාය.

මම වටපිට බැලුවෙමි ගෙයි කුස්සිය ප්‍රදේශය බොහෝ කාර්ය බහුල වුණත් අපි සිටි හරිය දැඩි නිහඬතාවකින් යුක්ත විය.   ගණ අඳුර ලාවට මැකී ගියේ කොහේදෝ ඈතින් දැල්වුණු විදුලි බුබුළක පාණ්ඩු පාට ආලෝකයෙනි.    

දෑස් අඳුරට හුරුවීමෙන් පසු මට වටපිට පෙනෙන්නට විය.   මා දෙපස තිබු කාමර දෙකෙන් එකක කුමාරි නීතාගේ දරුවන්ද සමග නිදයි.   අනෙක් කුඩා කාමරයේ ඇති එක් ඇඳක නිදා සිටින්නේ ඉන්ද්‍රාය,  අනෙක් ඇඳේ නීතාගේ ආච්චි කෙනෙක් නිදා සිටියාය.   නිදිමතක් නැතත් මට දැනුණේ මහා පාළුවකි.    මම සැටියේ බාගෙට හාන්සිවී කල්පනා කරමින් සිටියෙමි.

" ආ නිදාගන්න ආවෙ මෙතනටද?" යි කොහෙදෝ සිට එතැනට පැමිණි ඉන්ද්‍රා ඇසුවාය.

" ඇයි තමුසෙටත් නින්ද යන්නෙ නැද්ද?"

" නෑනෙ, කෝ එහාට වෙන්නැ!" යි මට කී ඉන්ද්‍රා ද   සැටියේ වාඩිගත්තාය.     

ඇර දමා තිබු ජනේලයෙන් හමන්නේ සීත සුළඟකි.   සුළඟට ජනෙල් තිර රෙදි සට පට ගා හතර අතට සෙලවෙන්නේ පණ ඇවිත් මෙනි.  දැඩි ශීතයට ඉන්ද්‍රාගේ සිරුර කිළිපොලා යනු දෙතුන්විටක්ම මට දැනුණි.

" සීතලද? "

" ම්ම්ම් " ඉන්ද්‍රාගේ ආලිංගනය සීතල මකන්නට කදිමය෴ 

Sunday, August 14, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 15 - කොළඹ පැමිණීම,කළපුව අද්දර දුපත,මිතුරු කකුළුවා සහ මුහුදේ ස්නානය.

"අනේ අප්පේ , මොකද මේ?  නැගිටල එන්න ගෙදර යමු!" යි කී ඉන්ද්‍රා බිම පෙරලී සිටි මගේ හිසකේ පුරා තැවරී තිබු වැලි පිසදමන්නට වුවාය.

"මෙහෙම ගෙදර යන්න පුළුවන්ද? ඒ මිනිස්සු හිනාවෙයි."

"ඒවා ඉතිං බොන්න කලින් හිතන්න එපාද? " ඉන්ද්‍රා ඉවත බලාගෙන කීවත් ඇගේ මුව පුරා තැවරී තිබුණේ මඳහසකි.

"දැන් ඒවා කියල වැඩක් නෑනෙ."

" වැඩක් නෑ කියල අදත් දවසම වැලිගොඩේ දපල ඉන්නද කල්පනාව? ඔන්න මම නං යනවා."

" යන්නත් ඕනෑ තමයි."

"එහෙනං නාගන්න , ඊයෙ රෑ තිස්සෙ නටල මහන්සිත් ඇතිනෙ, මම ගෙවල් පැත්තට යන්නං."

ඇතිවෙනතුරු මුහුදෙන් නාගෙන ළිඳෙන් ලුණු සෝදා ගත් පසු ඇඟට දැනුණේ සැහැල්ලුවකි.  රාත්‍රියේද හරියට ආහාරයක් නොතිබූ බැවින් කුසගින්නද මඳින් මඳ නැග එන්නට විය.  ඉන්ද්‍රාගේ අම්මා පිළියෙළ කර තිබු  රසවත් පාතරාසය අනුභවයෙන් පසු ගතට නව පණක් ලැබුණා සේ විය.

" ආයෙ හරිබරි ගැහිල ඉඳගත්තෙ මොකද? යන්න ලෑස්ති වෙන්න.  දැන්ම පිටත් වුණොත් දවල් කෑම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වෙයි." ඉන්ද්‍රා කීවේ කෑමෙන් පසු පුටුවක වාඩිවී දුම්වැටියක් ද දල්වාගෙන සිටි මා වෙතට එමිනි.  ඇය යන්නට සුදානම් වී හැඳ පැළඳගෙන සිටියාය.   තවත් මොහොතකින් අප දෙදෙනා ගෙදරින් පිටත්වන්නට සුදානම් වූයෙමු.

"ආයෙම  අපිව බලල යන්න එන්න පුතා!" යි කී ඉන්ද්‍රාගේ මව අපට සමුදුන්නාය.   බෙන් එකේ අප හතරදෙනාටම සෑහෙන්නට හැදු බත් පාර්සල් දෙක දැමු බෑගය ඉන්ද්‍රාගේ අතක විය.  ගෙදර අයගෙන් සමුගත් අප දෙදෙනා පාරට බැස්සෙමු.

"ඇයි තමුසෙට කෑම එකක් දුන්නෙ නැද්ද? " යි මම ඇසීමි.

" දුන්න දුන්නා අපි දෙන්නගෙ කෑම එකත් මේකෙ තියෙනවා !" ඉන්ද්‍රා අපි දෙන්නා යි කීවේ ඇයත් සමග එක කාමරයේ නැවතී සිටි යුවතියටය.

" එහෙනං අම්මට වෙන වැඩක් තිබිල නෑ!"

" ඔව් අනේ අම්ම පාන්දර ඉඳන් නැගිටගෙන කෑම හැදුවෙ!"

ගාලු පාරට පැමිණි අප දෙදෙනා කොළඹ බලා යන බසයකට නැගගතිමු.   බසයේදී අප දෙදෙනා අතර වැඩි කතාබහක් නොවීය.  ඉන්ද්‍රා තරමක නිදිමතකින් සිටින බව මා සිතුවේ වරින්වර කීපවිටක්ම ඇගේ නෙත් පියවෙනු දුටු නිසාය.   තවත් මොහොතකින් නිදිමතට සම්පූර්ණයෙන්ම පරාජය වූ ඈ මගේ උර මත හිස තබාගෙන නිදන්නට වුවාය.  බසය වේගයෙන් කොළඹ බලා ඇදී යයි.

කතාව මොහොතකට නවතා වර්තමානයට ආවොත් ඉන්ද්‍රලාගේ වෙරළේදී මෙන්ම මා වැලි නෑ තවත් දිනයක් මගේ සිහියට එයි.  අපි බසයේ ගමන්කරන මොහොතට සාපේක්ෂව ගතහොත් එය අනාගතයේ එනම් ඊට හරියටම වසර දහයකට පමණ පසු සිදුවීමට නියමිත සිද්ධියකි.    නමුත් බසයේ ගිය කතාවත් දෙවෙනි වරට වැලි නාපු කතාවත් දෙකම දැන් අතීතයට එක්වී අවසන් නිසා එයද කියා දමන්නට සිතේ.    ඉන්ද්‍රා නින්දෙන් අවදිවන තුරු මට ඒ කතාව කියාගන්නට හැකිවේ යයි සිතමි.

ලංකාවේ වර්ගවාදී යුද්ධය ඉතා තදින් ඇවිළෙන සමයේ මා පදිංචිවී සිටියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරය.    ඒ වන විටත් දකුණු ඉන්දියාවේ අනාථ කඳවුරු ගණනාවක ශ්‍රී ලාංකික යුද අනාථයන් ලක්ෂ ගණනක් සිටි අතර දිනපතා බෝට්ටු පුරවා අනාථයන් දකුණු ඉන්දීය වෙරළට පැමිණෙමින් සිටියහ.

1983   කළු ජූලියේ ද්‍රවිඩ සංහාරය හේතුවෙන් රටින් පැනගත් පිරිසක්ද දකුණු ඉන්දීය භුමියේ පදිංචිවී සිටි අතර ඔවුන් අනාථ කඳවුරුවල නොව චෙන්නායි නගරයේ කුලියට ගත් නිවෙස්වල සාමාන්‍ය  ජීවන තත්වයක් සහිතව පදිංචිවී සිටියහ.   ඒ පවුල්වල බොහෝ තරුණයින් හොඳ ජීවන තත්වයන් සොයා බටහිර රටවලට සංක්‍රමණය වුවෝය.   ජීවිතය හොඳ අතට වෙනස් වෙද්දී ඔවුන්ට විවාහවී පවුල් ජීවිත ගතකිරීමට අවශ්‍ය වුවත් සිය සිත්ගත් තරුණියන් සොයා ලංකාවට යන්නට ඔවුන්ට නොහැකි වුයේ ඔවුන් සතු සරණාගත ගමන් බලපත්‍රවලින් ලංකාවට යන්නට නොහැකිවීම නිසාය.    එයට පිළියමක් ලෙස ඔවුන් කළේ තමන්ට විවාහ වීමට අවශ්‍ය තරුණිය දකුණු ඉන්දියාවට ගෙන්වා ගෙන එහිදී විවාහය සිදුකර ගැනීමයි.     විවාහයෙන් පසු සිය මනමාළිය තනිකර දමා තමන් පදිංචිවී සිටින රටට තනිවම යන තරුණයා ඒ රටට සිය විවාහ ලියකියවිලි පෙන්වා තම බිරිඳට වීසා ලබාදී රටට ගෙන්වා ගනී.    දිගින් දිගටම මෙවැනි විවාහයන් සිදුවෙන්නට වූ කළ එම විවාහයන්ට පහසුකම් සපයන පුද්ගලයන්ද ආයතනද චෙන්නායි නගරයේ බිහිවන්නට විය.   එවැනි පුද්ගලයන්ට හෝ ආයතන වලට තම විවාහය සිදුකරන්නට බාරදෙන තරුණයාට කරන්නට ඇත්තේ මුදල් වියදම් කිරීම පමණකි.     ගුවන් ටිකට් පත වෙන්කිරීමේ සිට විවාහවී දෙදෙනා පිටත්වන තුරු ඉතිරි සියල්ල ඒ පහසුකම් සපයන ආයතනය විසින් සිදුකරනු ලබයි.

වරක් බටගිර රටවල් දෙකක වාසය කරන තරුණයන් දෙදෙනෙක් චෙන්නායි නුවරට ආවේ සිය විවාහයන් කරගැනීම සඳහාය.   ඔවුන් දෙදෙනාගෙන් එකෙක් ප්‍රංශයේ සිට පැමිණ සිටි අතර අනෙකා පැමිණ සිටියේ ඩෙන්මාර්කයේ සිටය.     මංගල්‍යයේ යම් නීතිමය අවශ්‍යතාවක් සඳහා ඒ දෙදෙනා අප වෙතට පැමිණි විට අප ඒ අවශ්‍යතාව ඉටු කර දුන් ආකාරය ගැන ඔවුන් බොහෝ සතුටට පත්වුහ.    ඊළඟ සති අන්තයේ අප සමග  චෙන්නායි වලින් පිටත ගොස් දිනක් ගතකරන්නට එන බව කියූ ඔවුහු අපෙන් සමුගත්හ.    කියූ ආකාරයටම ඊළඟ සෙනසුරාදා දිනයේ ඔවුන් දෙදෙනා අපව රැගෙන යන්නට ජීප් රථයකින් පැමිණි අතර මමත්,ටෙරන්ස් සහ බන්දුත් ඔවුන් සමග කොහේදෝ අප නොදත් ගමනාන්තයක් කරා පිටත්වීමට වාහනයට නැගගතිමු.    චෙන්නායිවලින් කිලෝමීටර් සීයක් පමණ අධිවේගී මාර්ගයක ගමන්කර හරවා නැවත ගම්බද පෙදෙසක් හරහා තවත් කිලෝමීටර් විසිපහක් පමණ ගොස් නවත්වනු ලැබුයේ ගම්බද වෙළෙඳපොලකය.   ගම්බදව වවන බොහෝ ආහාර ද්‍රව්‍ය මෙන්ම මාළුද බහුලව වෙළෙඳපොළේ දකින්නට විය.    වාහනයෙන් බැසගිය තරුණයින් දෙදෙනා ආහාර ද්‍රව්‍යද මාළුද මිළදීගැනීමෙන් පසු නැවත වාහනය නැවත්වුයේ කළපුවක ඉවුරේය.

වාහනයෙන් බැසගත් අප කලපු ඉවුරේ නවතා තිබු පල්ල පැතලි ලී වල්ලමක් වැනි යාත්‍රාවකට නැග විනාඩි පහළොවක පමණ ගමනකින් පසු එරෙන වැල්ලක් තිබු දුපතකට ගොඩ බැස ගතිමු.    දුපත පුරාම සයිප්‍රස් ගස් සිටුවා තිබෙනු දක්නට විය.   දුපතේ එක් පසෙක කළපුවද අනෙක් පස ඉන්දියන් සාගරයද විය.   වැල්ලේ එරෙමින් දුපත මැදට ගිය අපට දුපතේ තිබු එකම ගොඩනැගිල්ල වුයේ  පොල්ලතු සෙවිළි කළ ගෙයකි.    එදාට පසු දිනකදී මා නැවතත් මේ දුපතට ගිය අවස්ථාවේ ගත් ඒ ගෙයි ඡායාරුපයක් ඇල්බමයේ තිබීම සතුටකි.

අප ගෙනගිය ආහාර ද්‍රව්‍ය ඒ ගෙදර සිටි පිරිමියාට සහ කාන්තාවට දුන් විට ඔවුන් ක්ෂණයකින් ක්‍රියාත්මක වෙමින් අපට වාඩිවෙන්නට පුටුද මේසයක්ද එළියෙන් තබා කෑම උයන්නට පටන් ගත්හ.   දුපතට යන අය කෑම ද්‍රව්‍ය ගෙනැවිත් දුන් විට ඒ අය උයාදෙන බවත් එන අය ලබාදෙන සුළු මුදලකින් ඔවුන් සෑහීමකට පත්වෙන බවත් අප සමග ගිය තරුණයන් කීවෝය.

" ඒ අය උයල ඉවර වෙද්දී තව වෙලා යයි, අපි පටන්ගනිමු'යි"  කියූ ඔවුන් ආරම්භ කළේ සුදු වයින් බෝතලයකිනි.   සාදය ටිකින් ටික නැගලා යන්නට වුයේ වයින් වලින් ආරම්භ වී සැර බීම කරළියට පැමිණි විටදීය.     කටගැස්ම ලෙස දුපතේ අය සාදා දුන් ඉස්සන් හා කකුළුවන්ද අප ඊට පෙර රස බලා නැති අමුතුම වට්ටෝරුවකට හැදු ඒවා විය.  ටික වේලාවකින් අපි හැඳසිටි ඇඳුම් උනා කොට කලිසම් ඇඳගත්තේ මුහුදේ නාන්නටය.   කොට කලිසමක් ගෙනැවිත් නොතිබූ  බන්දු තුවායක් ඇඳ ගත්තේය.   එහෙත් දුපතේ සිටි අය කීවේ  ඒ හරියේ මුහුද මේ  දිනවල බොහෝ සැර බවත් මුහුදේ බැස්ම කිරිගොට්ටක මෙන් එක තැනම පහළට ඇති නිසා නෑම අවදානම් බවය.  

" එහෙනම් අපි ටිකක් ඇඟ හෝදගෙන ගොඩ යමු" යි  කියූ බන්දු  මුහුදට බසින්නට සුදානම් වත්ම අප කැඳවාගෙනපැමිණි තරුණයින් දෙදෙනා එයට එකහෙළා විරුද්ධ වුහ.  

" අපියි ඔයගොල්ලන්ව එක්කරගෙන ආවෙ. අපට අවදානමක් ගන්න බෑ,  මුහුදෙ නාන්න එපා  නාන්නම ඕනෑ නම් ආපහු යන ගමන් ස්විමිං පූල් එකකින් නාගෙන යමු. අපි එක්කං යන්නම්." 

ඔවුන් අපේ ජීවිත ගැන බොහෝ සැළකිලිමත් වන බව පෙනුණු නිසා අපි ආපසු පැමිණ නැවතත් බෝතල් වලට වටවීමු.  කොච්චර කන්න බොන්න තිබුණත් තක්කඩි වැඩක් නොකළොත් බන්දුගේ හිතට මදිය.  ඔහු යන්නට හදන්නේම මුහුදට බහින්නටය.  කොල්ලන් දෙදෙනා බන්දුව වටකරගෙන සිටිති.  එක්වරම නැගිටගත් බන්දු උන් දෙන්නා අතරින් රිංගා මුහුද පැත්තට දුවන්නට වූ අතර තරුණයන් දෙදෙනා බන්දු පසුපස එළවා ගොස් ආපසු ඇදගෙන ආවෝය.  ටික ටික වෙරිමත වැඩිවනවිට මුන් දෙන්නාගේ බය ගැන දැනගත් බන්දු හදන්නේ උන්ව බයිට් කරන්නටය.  ආපහු නැගිටගත් බන්දු මුහුදට දුවන විට පසුපස එළවා ගිය තරුණයන් දෙදෙනා ගෙන් එකෙක් බන්දුගේ තුවායේ එල්ලුණේය.   එකෙණෙහිම තුවාය කඩා දැමු බන්දු වැල්ලේ වැටි වැටී දුවන්නට විය.   අපි බිම පෙරළි පෙරළී සිනාසුනෙමු.

බන්දුත් කොල්ලන් දෙදෙනාත් අතර හැංගිමුත්තං සෙල්ලම අතර මම ගේ පැත්තට යනවිට ගෙදර මනුස්සයා එළියේ ඉඳගෙන දවල්ට උයන්නට කකුළුවන්ගේ අඬු කඩමින් සිටියේය.   කකුළුවා උගේ අඬු හතර අතට කරකවයි.   අර මිනිහා උන්ගේ අඬු කඩමින් ඇතිළියකට දමයි.   එතන සිට මේ සෙල්ලම ටිකක් වෙලා බලා ඉන්න විටදී මට යස කල්පනාවක් පහළ විය.   

"කකුළුවෙකුගෙ අණ්ඩක් අස්සට ඇඟිල්ල දැම්මොත් මක් වෙයිද?" දන්න දෙමළ වචන ගලපාගත් මම ඒ මනුස්සයාගෙන් ඇසුවෙමි.    ඔහු මා දෙස බැලුවේ උපහාසාත්මක ලෙසය. 

" මොකක් වෙන්නද? මොකුත් වෙන්නෙ නෑ ඇඟිල්ල කඩල දානව මිසක."

" එහෙමද? මමනං හිතන්නෙ නෑ කෝකටත් මට  අණ්ඩ අස්සට ඇඟිල්ල දාල බලන්න ඕනෑ." 

 මනුස්සයා ආයෙමත් මා දෙස බැලුවේ මේ කොහෙන් ආ අමනයෙක්ද යන අදහසින් විය යුතුය.   එහෙත් බීමතින් සිටි මට ඒ හොඳක් නරකක් තේරෙන වෙලාවක් නොවීය.    ඇඟිල්ල දමන්නට එපා කියා ඒ මනුස්සයා බැගෑපත් වෙද්දී මම කකුළු අණ්ඩ අස්සට ඇඟිල්ල දැම්මෙමි.  ඒ වනවිටත් අඬු දෙකක් කඩා දමා මාරාවේශයෙන් සිටි කකුළුවා චරස් ගා මගේ ඇඟිලි පුරුක පොඩිකර දැම්මේය.   ඒ වේදනාවට මට කලිසමේ මුත්‍ර පහ  නොවුනා පමණකි.  මම අත ගසා දැමු විට කකුළුවා උඩින් ගොස් වැල්ලේ පතිත විය.   කකුළුවෙකුට එපමණ හයියක් ඇති බව මම දැනගත්තේ එදාය.   හොඳ වෙලාවට කකුළුවාට හසු වුණේ මගේ ඇඟිල්ලේ නියපොත්ත කොටස වීම හේතුවෙන් ඇඟිල්ල වෙන් නොවී ඉතිරි විය.   අඬු කඩපු මනුස්සයා මට බනිමින් කුකුළුවා අහුලන්නට ගියේය. 

එදා දවස පුරාම දුපතට වී අප සතුටු වුවත් බන්දුට මුහුදේ නාන්නට අර තරුණයන් දෙදෙනාගෙන් ඉඩක් ලැබුණේ නැත.  කකුළු හොද්ද ඇතුළුව පිළියෙළ වී තිබු දවල් බත අතිශය ප්‍රණීත එකක් විය.   ඔවුන් එතරම් රසට උයන කුස්සිය නිකම්ම වැල්ලේ බිම සැදු මැටි ලිප් දෙකකි.   හිරු බැස යන වෙලාවේ පිටත්වූ අප වැඩි රෑ බෝ වෙන්නට පෙර ගෙවල්වලට පැමිණියෙමු.   ගෙදර පැමිණ ඇඳුම මාරු කරද්දී ඇඟ පුරාම තිබු වැලි ගේ පුරා ඉහිරෙන්නට විය.  වෙළුම් පටියකින් බැඳ තිබු මගේ ඇඟිල්ල හැලපිගෙන් දවසක් දෙකක් වසං කරගෙන සිටියත් වෙළුම් පටි මාරු කරද්දී ඇයට හසුවිය.   එහෙත් සිදුවූ දේ ඈ දැනගත්තේ ඊට බොහෝ කාලයකට පසුව අප පවුල් පිටින්ම නැවත ඒ දුපතට ගිය දවසකය.    අද පළකර ඇත්තේ ඒ දෙවෙනි වරට ගිය ගමනේදී මා විසින් ගන්නා ලද පිංතුරයකි.   ගෙට එපිටින් ඇති හිස් අවකාශය ඉන්දියන් සාගරයයි.  ඒ ගිය කතාව පිංතුරද සහිතව තවත් දවසක ලියමි.

කතාව ලියාගෙන යද්දී මතකය අලුත් කරගන්නට මම ඊයේ මා මිත්‍ර අසෝකන් ට කතාකළෙමි.   අසෝකන් අප දෙවෙනි වරට ඒ දුපතට යන විට අපත් සමග එකතු විය.  අප දෙදෙනා අතරවූ සංවාදයේ කතාවට අදාළ කොටස මෙලෙසය.

" අපි වතාවක් දුපතකට ගියා උඹට මතකද?"

" මතකයි මතකයි, ඇයි එදා මට වැඩිවෙලා ඔයාල මාව උස්සගෙන ආවේ!"

" අන්න ඒ දුපතේ නම කියපංකො."

" මට මතක නෑනෙ, හැබැයි නෝත් චෙන්නායි හරියෙ නේද?" 

" වෙන්න ඇති බං මටත් හරියට මතක නෑ!"

" ආ! පලවෙයික්කාඩු, දුපතේ නම!"

උගේ සිංහල තේරුම් ගන්නට හැක්කේ මට විතරය.  ඒ නම අකුරෙන් අකුර අසා ලියාගෙන සර්ච් කළත් කිසිම ප්‍රතිපලයක් නැති නිසා එය මා තාම නම නොදන්නා දුපතක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.   කෙසේ වුවද අප දෙවෙනි වරට ඒ දුපතට ගිය ගමන ගැන ලියන කාලය එනවිට නම සොයා ගන්නට හැකිවේ යැයි මා විශ්වාස කරමි. 

නැවතත් ඉන්ද්‍රා සමග බසයේ ගමනට එකතුවිය යුතුය.  කොළඹට එන තුරුම නිදාසිටි ඉන්ද්‍රා ව මම අවදිකළෙමි.  ඇය මා සමග බොරැල්ලට පැමිණියාය.   බොරැල්ලේදී අප දෙදෙනා වෙන්වුයෙමු.   ඉන්ද්‍රා කැලණියේ ඇගේ බෝඩිමට ගිය අතර මම කෑම පාර්සලයද රැගෙන බෙන් එකට ගියෙමි.

" ඒයි මෙන්න මු ඇවිල්ල බං, කොහෙ මගුලෙ ගියාද යකෝ ආගිය අතක් නැතුව හිටියෙ?" බෙන් එකේ මිතුරන් මා පිළිගත්තේ එලෙසය෴